චීන-ශ්‍රී ලංකා සබඳතා පවතින්නේ පුද්ගලයන් මත නොවෙයි - ජනාධිපති ෂි ජින් පින්

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wickramasingha

ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ දී එය දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයකු මත රඳා නොපවතින බව චීන ජනාධිපති ෂි ජින්පින් පවසයි.

චීන නායකයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ අද තියනෑන්මන් චතුරශ්‍රයේ මහජන ශාලාවේ පැවැත්වුන සාකච්ඡාවේදී.

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත මණ්ඩලය ජනාධිපති ෂින් ජින්පින් විසින් මහත් ඉහළින් පිළිගනු ලැබුණ අතර විදේශීය රාජ්‍ය නායකයකු සඳහා මහජන ශාලාවේ මෙවැනි සාකච්ඡාවක් ලබා දීම කලාතුරකින් සිදු වෙන දෙයක් බවයි බේජිං ගුවන් විදුලියේ සිංහල අංශයේ චන්දන තිලකරත්න පවසන්නේ.

ශ්‍රී ලංකාවට සහයෝගය දීමේ දී එරට ජනතාව සහ අනුගමනය කරන ප්‍රතිපත්ති පමණක් සැලකිල්ලට ගනු ලබන බවයි ජනාධිපති ෂි ජින්පින් එම සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේ.

චීන - ශ්‍රී ලංකා සබඳතා බිඳ හෙළීමට තුන්වැනි පාර්ශ්වයකට නොහැකි බවත් චීන ජනාධිපති ෂි ජින්පින් අවධාරණයෙන් කියා සිටියේය.

යළි පණ දෙන වරාය නගරය

වරාය නගරයේ ඉදි කිරීම් නැවත ආරම්භ කරනු ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කළ චීන ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය ආශ්‍රිතව විශේෂ මූල්‍ය කලාපයක් ඉදි කරනු ලැබීමේ වත්මන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා මාර්ගයත් ප්‍රශංසාවට ලක් කළේය.

චීන අගමැතිරයා සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wkramasingha

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන අගමැතිරයා සමඟ

තායිවානය සහ ටිබෙට් දේශය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ‘එකම දේශයක්’ යන පිළිවෙතට ශ්‍රී ලංකා ආණ්ඩුවේ ද අනුකූලතාවය ලැබීමත් චීන නායකයාගේ අගය කිරීමට ලක් වූ බවයි බේජිං වාර්තා මගින් පැවසෙන්නේ.

එම සාකච්ඡාවේ දී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ අතීත ක්‍රියාකාරකම් විවේචනය කරමින් සිටීම නොව අනාගත අභියෝගවලට මුහුණ දීම වඩා වැදගත් බවයි.

ගෝලීය ආර්ථික අර්බුදයක් මතු වී ඇති මොහොතක චීනය ශ්‍රී ලංකාවේ සහායට ඉදිරිපත් වීම අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි අගය කිරීමට ලක් විය.

හම්බන්තොටට සහන රැසක්

ඡායාරූප මූලාශ්‍රය, Ranil Wikramasingha

අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ චීන සංචාරයට එක්ව සිටින නිවාස සහ සමුර්ධි ඇමති සජිත් ප්‍රේමදාස බේජිං නගරයේ සිට බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතීන් රැසකට ආධාර කිරීමට චීනය එකඟ වූ බවයි.

අගමැති රනිල් වික්‍රමසිංහ චීන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද සාකච්ඡා මගින් ද්විපාර්ශ්වීය සබඳතා තුළින් මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද විශාලතම ශක්තිය ලද බවයි සජිත් ප්‍රේමදාස ඇමතිවරයා පවසන්නේ.