නවක වදය: 'වැඩිකල් පවතින්නෙ නැහැ'

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල තුළ සිදුවන නවක වදය නුදුරු අනාගතයේ දී සහමුළුමනින්ම නැතිවී යනු ඇති බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනයපාලකවරයා බලාපොරොත්තු පළ කරයි.
තම විශ්ව විද්‍යාලයේ ඇතැම් පීඨවල දැනටමත් නවක වදය සහමුලින් අතුරුදහන් වී ඇති බව සිය උපකල්පනයට පදනම් කරගන්නා ඔහු පවසන්නේ නවක වදය ඉදිරියට පවත්වාගෙනයාම අසීරු තත්වයකට පැමිණ ඇති බවයි.
ආචාර්ය අශෝක දංගොල්ල මේ බව පැවසුවේ බීබීසී සංදේශය සමග සංවාදයකට එක්වෙමින්.
"උදාහරණයකට මම දකිනව තුන්වැනි අවුරුද්දේ අය දෙවැනි අවුරුද්දේ අයට උගන්වනව නැවතත් නවක වදය කරන ආකාරය. මේක ඉස්සර තිබුණේ නැහැ. ඒ කියන්නෙ දෙවැනි අවුරුද්දෙ ළමයි නවක වදයෙන් ඈත්වීමේ ප්‍රවණතාවය වැඩියි," යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.
තීව්‍රතාවය
මේ වන විට සරසවි තුළ නවක වදයේ තීව්‍රතාවය ඉහලම මට්ටමකට පැමිණ ඇති බව පවසන ආචාර්ය දංගොල්ල එයට හේතු වී ඇත්තේ නවක වදය සිදු කරන ශිෂ්‍යයන් ඒ පිළිබඳව නොදැන සිටීම නිසා බව ඔහුගේ මතයයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ දන්ත වෛද්‍ය පීඨයේ නවක වදය කිසිසේත්ම සිදුනොවන බව පවසන ඔහු තවත් පීඨ එයට එකතුවෙමින් සිටින බවයි සඳහන් කළේ.

නවක වදය 'දෙන්නන්' සහ 'නොදෙන්නන්' ලෙස සිසු සිසුවියන් බෙදී සිටින බව පෙන්වා දෙන විනයච පාලකවරයා පවසන්නේ එසේ නවක වදය නොදෙන පිරිස ක්‍රමයෙන් වැඩිවන බවයි.
නවක වදය නමින් තරුණ පරපුර හිංසනයට යොමුවීමේ හේතුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ එම තත්වය සරසවි තුළ පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාව තුළ පවතින්නක් බවයි.
යාපනය ඇතුළු උතුරු ප්‍රදේශ වලින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණෙන සිසුන් දකුණේ නවක සිසුන්ට නවක වදය දීමට තබා එකම සරසවියක සිසුන් ලෙස එකට ඇසුරු කිරීමක්වත් සිදු නොවන නමුත් ද්‍රවිඩ සිසුන් විසින් අලුතින් පැමිණෙන උතුරේ ද්‍රවිඩ සිසු සිසුවියන්ට ඉතා දරුණු ලෙස කායිකව හා මානසිකව නවක වදය දෙන බවත් ඔහු පැවසීය.
යාපනේ සහ නැගෙනහිර
"යාපනයෙන් සහ නැගෙනහිරින් එන අය ඉතාම තද විදියට නවක වදය දෙනව. අපිට හොයා ගන්න බැරි විදියට. සමහර අය තුවාල වෙනව. සමහර අය ඉස්පිරිතාලෙ පවා යනව. ඒවා අපිට 'රිපෝර්ට්' වෙන්නෙත් නැහැ. ඒ ගොල්ලන්ගෙ 'නෙට්වර්ක්' එක හරිම වෙනස්. ඒ ගොල්ලො ශිෂ්‍ය යූනියන් එකකට සම්බන්ධ නැහැ. ඒක අමුතුම එකක්. එතන තාම ‘ෆිසිකල් රැගින්’ කියන එක තියනව. ඒක හරිම භයානක විදියට ඔපරේට් වෙන්නෙ," යනුවෙනුයි ඔහු පැවසුවේ.

ඡායාරූප මූලාශ්‍රය, think
නවක සිසුන්ව ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් තමන් කැමති ‘සරසවි සංස්කෘතියකට’ අවනත කර ගැනීම පිණිස නවක වදය දෙන බවට සැලකිය හැකි බවද එහෙත් එම ‘සංස්කෘතිය’ රටට සහ විශ්වවිද්‍යාලයට වැඩදායක එකක් නොවන බව පෙනීයන බවයි ආචාර්ය දංගොල්ල ප්‍රකාශ කළේ.
ද්වේශය
"නවක වදය දෙන ළමයි හිතනව මේ ‘බබාල’ වගේ ඉස්කෝල වලින් එන ළමයි යම්කිසි විදියකට අනුගත වෙන විදියට හදාගත්තහම ඒ ගොල්ලො හොඳ පුර වැසියො වෙනව කියල. නීති ගරුක වෙනව කියල. ඒ වුනාට අපි දකින්නෙ නැහැ ඒක සිද්ධවෙනව."
සිසු සිසුවියන් සරසවියට පැමිණීමට පෙර නිවසේ දී හැදී වැඩෙන ආකාරය නවක වදය දීම හෝ නොදීමට බලපාන බව පවසන ආචාර්ය දංගොල්ල ඉතා දරුණු අන්දමින් නවක වදය දීමේ යෙදෙන්නේ තමා නවකයෙකු ලෙස නවක වදයට බඳුන් වීමෙන් මිදී ‘කට්ටි පැන’ සිටි අය බවත් සඳහන කළේය.
දරිද්‍රතාවය සහිත පරිසරයක සිට සරසවියට පැමිණි හැදී දැඩි සහ ශක්ති සම්පන්න රළු පෙනුමෙන් යුත් ඔවුන් පිරිසිදුවට සහ පිළිවෙලට කොළඹ වැනි නගරාසන්න පාසැල්වලින් පැමිණෙන නවක සිසුන් කෙරෙහි ද්වේශයෙන් වදහිංසා දෙන බව පේරාදෙණිය සරසවියේ විනය පාලකවරයාගේ අදහසයි.
ඉහළ මධ්‍යම පන්තිය ඇතුළු ශ්‍රී ලංකික සමාජයේ සියලුම ස්ථරයන් වලින් පැමිණෙන අයට නිදහස් අධ්‍යාපනයට අයිතියක් ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.








