HIV භීතිය: කුලියාපිටියේ දරුවා පාසලෙන් ඉවතට

දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ
ඡායාරූප ශීර්ෂ වැකිය, දරුවාගේ පියා කලකට පෙර මිය ගොස් ඇති අතර සිය සැමියා එච්අයිවී ආසාදිතයකු බවට රාවයක් පැතිර ගොස් ඇති බවයි දරුවාගේ මව සංදේශයට කියා සිටියේ

එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකිව සිටි කුලියාපිටියේ දරුවා ඉන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ පවසයි.

ඉහත කී දරුවාට එච්අයිවී ආසාදනය වී නොමැති බවට කරුණු පහදා දීම සඳහා සෙසු පාසල් දරුවන්ගේ දෙමව්පියන් සහ සෞඛ්‍යය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී සෞඛ්‍යය බලධාරීන් දෙමව්පියන් වෙත කරුණු පහදා දීමට දැඩි වෙහෙසක් ගෙන ඇති නමුත් දරුවා තවදුරටත් පාසලේ රැඳී සිටීමට එරෙහිව සෙසු දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි බීබීසී සංදේශය වෙනුවෙන් එහි ගිය ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න පවසන්නේ.

සෙසු දෙමව්පියන් වෙතින් දිගින් දිගටම එල්ල වූ දැඩි විරෝධය හමුවේ දරුවා පාසලෙන් ඉවත් කර ගන්නා බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කොට ඇත්තේ ඉන් අනතුරුවයි.

වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා රාජපක්ෂ

කෙසේ වෙතත් දරුවා පාසලෙන් ඉවත් කර ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අධ්‍යාපන බලධාරීන් විසින් ගනු ලැබූ තීන්දුවට එහි සිටි සෞඛ්‍යය නිලධාරීන් සහ ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන් විරෝධය පළ කොට ඇත.

මේ අතර පාසලේ පැවති හමුවෙන් අනතුරුව සිය නිවසට පැමිණි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා තම දරුවාට වෙනත් පාසලක් ලබා දෙන බව කියා සිටියේ යැයි මව පැවසුවාය.

දරුවාට ස්ථීර වශයෙන්ම එච්අයිවී ආසාදනය වී නොමැති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ඊයේ අඟහරුවාදා සංදේශයට කියා සිටියේය.