'ගූගල් ලූන්' බැලුනය රත්මලානෙන් නැවතත් ගුවනට

ඡායාරූප මූලාශ්‍රය, Google

ශ්‍රී ලංකාවට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා ගැනීම අත්හදා බැලීම සඳහා ගූගල් ආයතනය ශ්‍රී ලංකා ගුවනට එක් කරන ලද ප්‍රථම 'ගූගල් ලූන්' බැලුනය ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයේ තේ වත්තකට සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ අවසරය මත ඊයේ රාත්‍රියේ පතිත කළ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.

බැලුනය කඩා වැටුණු බවට පළ වෙමින් ඇති මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි අමාත්‍යවරයා බීබීසියට පැවසුවේ.

‘කඩා වැටුනානම් ඒක කෑලි කෑලි වලට කැඩෙන්න ඕන, ටිකෙන් ටික හුළං අඩු කරලා තමයි බැලුම බාන්න පුළුවන්. ගුවන් යානා බානවා වගේ නෙවෙයි-ගොඩ බාද්දී ඒක වත්තක් උඩට වැටෙන්න පුළුවන්, ගහක් උඩට වැටෙන්න පුළුවන්, ඒ නිසා ඒක බාල තියෙන්නේ කිසි කෙනෙකුට හානියක් නොමැති ස්ථානයකට’ ඇමතිවරයා පවසයි.

දකුණු ඇමරිකාවෙන් පිටත් කර දකුණු පළාතෙන් ශ්‍රී ලංකාවට ඇතුල් වූ බැලුනය අහඹු ලෙස තෝරා ගත් ස්ථානයක ගොඩ බෑමට ගූගල් සමාගම තීරණය කර තිබුන බව පවසන අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඒ අනුව එය මධ්‍යම කදුකරයේ ස්ථානයකින් ගොඩ බිමට පතිත වූ අවස්ථාවේ දී පවා ක්‍රියාත්මක මට්ටමේ පැවති බව පොලිසිය තහවුරු කළ බව පවසන හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා එම බැලුනය සාමාන්‍යයෙන් නැවතත් ගුවන් ගත කළ හැකි බවයි පවසන්නේ.

තවත් අත්හදා බැලීම්

ගූගල් ආයතනයේ ඉංජිනේරුවන්ගේ මැදිහත් වීම මත එලෙස ගොඩ බැස්ස වූ බැලුනය ඉදිරියේ දී රත්මලාන ප්‍රදේශයෙන් නැවතත් ගුවනට එක් කරන බවත් අමාත්‍යවරයා පවසයි.

මේවන විට සිදු වන්නේ බැලුන ශ්‍රී ලංකා ගුවනේ සැරිසැරීම පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම බවත් ඒ අනුව ඒවා ඉහල නැංවීම යලි ගොඩ බැස්සවීම යන දෙකම ඉදිරියේ කාලයෙහි අත්හදා බලන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම පරීක්ෂණවලින් පසු ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සමාගම්වලට එකී තාක්ෂණයෙන් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමේ අත් හදා බැලීම් සිදු කෙරෙන බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.