ශෂී වීරවංශගේ අත්අකුරු පරීක්ෂණයක්

ශෂී වීරවංශ

ඡායාරූප මූලාශ්‍රය, sri lanka mirror

ඡායාරූප ශීර්ෂ වැකිය, ශෂී වීරවංශ

හිටපු ඇමති විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශගේ අත් අකුරු ලබා ගනිමින් පරීක්ෂණ වාර්තාවක් කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියම කළේය.

ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති ශෂී වීරවංශ මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටින්නීය.

අදාළ පැමිණිල්ල අද (29) කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පරීක්ෂණයට අදාළ සැකකාරියගේ අත් අකුරු සාම්පලයක් ලබා ගෙන එය රජයේ අත් අකුරු පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය කරන බවයි.

එමෙන්ම සැකකාරියගේ ආදර්ශ අත්සනක් ද ලබා ගැනීමට අවශ්‍ය බවයි පොලිසිය අධිකරණයට කියා සිටියේ.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අත් අකුරු සාම්පල සහ ආදර්ශ අත්සන් ලබා දෙන මෙන් නඩුවේ සැකකාරිය වන ශෂී විරවංශට නියෝග කළේය.

ඒ අනුව අධිකරණ භූමියේ දී ඇයගේ අත් අකුරු සාම්පල රහස් පොලිසිය මගින් ලබා ගනු ලැබුණි.

වැඩිදුර විමසීම මාර්තු මස වන දිනට කල් තැබූ මහේස්ත්‍රාත් අධිකරණය පරීක්ෂණවල ප්‍රගතිය එදින වාර්තා කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.