ප්‍රභාකරන් කෙනෙක් බිහි වුනේ ඇයි? - ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි

ඡායාරූප මූලාශ්‍රය, President Office Twitter
පොන්නම්බලම් සහ චෙල්වනායගම් වැනි පැරණි මුල් පෙළේ දේශපාලන නායකයන් ගේ බලාපොරොත්තු සුන් කරමින් එදා ඔවුන් කොන් කරනු ලැබීමක් සිදු නොවීනම් වේළුපිල්ලේ ප්‍රභාකරන් කෙනෙකුගේ අවශ්‍යතාවක් ශ්‍රී ලාංකික දෙමළ සමාජයට ඇති නොවන්නට ඉඩ තිබිණැයි ඉන්දීය බටහිර බෙංගාල ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි පවසයි.
ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දීය මහ කොමසාරිස්වරයකු ද වන ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි එම අදහස පළ කළේ ,ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදවි ප්‍රාප්තියට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිකුරාදා (08)පැවැත්වුන විශේෂ සමරු උත්සවයේ ආරාධිත දේශනය පවත්වමිනි.
අද ශ්‍රී ලංකාව සතුව එකී ශ්‍රේෂ්ඨ නායකයන් නොමැති නමුත් ත්‍රස්තවාදයට හසුව දිවි ගලවා ගත් වත්මන් ශ්‍රී ලාංකික දෙමළ නායකයන් ද අමතක නොකළ යුතු බවයි හිටපු මහ කොමසාරිස් ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි සඳහන් කළේ.
දේශපාලන විසඳුමක්
‘ත්‍රස්තවාදයෙන් දිවි ගලවා ගනිමින් දෙමළ ජාතික ගැටලුවට ‘එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දේශපාලන විසඳුමක්’ සොයා ගැනීමට උත්සාහ දරන එවැනි වත්මන් දෙමළ දේශපාලනඥයන්ගේ නො පසුබට උත්සාහය, ශක්තිය විශාල ඇගයීමකට ලක් කළ යුතුයි.පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ඔස්සේ එක්සත් ශ්‍රී ලංකාවක් පිළිබඳ ව එවන් දෙමළ ජාතිකයන් තුළ පවතින බලාපොරොත්තු බිඳ දැමීම හෝ සුන් කර දැමීම නොකළ යුත්තක්’ ගෝපාල් ක්‍රිෂ්ණගාන්ධි කියා සිටියේය.
අතීතයේ ක්‍රියාත්මක වූ ඒ ‘පැරණි දුෂ්ට චක්‍රය’ නැවතත් ක්‍රියාත්මක වීමට ඉඩ නොතැබිය යුතු බවයි ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි අවධාරණයෙන් සඳහන් කළේ.
අතීත ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ අවංක අභිලාෂයන් මනඃකල්පිත ඒවා බවට පත් නොවිය යුතු බව ද ඔහු කියා සිටියි.
දෙමළ ඩයස්පෝරාව
‘ශ්‍රී ලංකා දෙමළ ඩයස්පෝරාවේ යටගිය මතක යළි මතු කරවන ‘ඊලාම්’ ඉලක්කය පුනර්ජීවනය කිරීමට හේතු වන නව බලාපොරොත්තු කඩවීම්, කොන් කර දැමීම් වැළැක්වීම සඳහා කළ හැකි සෑම දෙයක් ම ශ්‍රී ලංකාව විසින් කළ යුතුයි. එළවමින් පළි ගන්නා ප්‍රචණ්ඩත්වය සහ එහි ප්‍රතිලාභ වන මර්දනය හා විනාශකාරිත්වය සමඟ එන දෙවන නැඟිටීමකට දොරටු විවර වීම වළක්වා ගත හැක්කේ එවිටයි’ ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බලධාරීන් දැනට පියවර ගනිමින් සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකීය ක්‍රමවේදයක් තුළ 'ෆෙඩරල් ආත්මයක්' ස්ථාපිත කිරීමට සමත් වනු ඇතැයි යන්න තම විශ්වාසය බවයි ඔහු කියා සිටියේ.
සිය විග්‍රහය පෙරට ගෙන යමින් ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි වැඩි දුරටත් සඳහන් කළේ ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම යටතේ බලය බෙදාහැරීමට යෝජිත 13 වන ව්‍යවස්ථා සංශෝධනය මේ සඳහා ඉවහල් කොට ගත හැකි බවයි.
එක්සත් ශ්‍රී ලංකාවක්
‘ශ්‍රී ලංකාවේ එක්සත්කම නමැති නෞකාවට ඉන්දු - ලංකා ගිවිසුම තරම් හොඳ නැංගූරමක් තිබිය නොහැකියි. ඉන්දියාව විසින් ධෛර්යවත් කරනු ලැබූ එක්සත් ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරා වන්නේත් අන් කවරකු වත් නොවේ ඉන්දියාවයි’ ඉන්දීය නියෝජිතයා වැඩි දුරටත් පවසයි.
බහුතරයේ ‘බල වාදය’ අත්හරින ලෙස සිංහල බහුතරයෙන් අයැද සිටින අතර ම ‘සුළුතර වාදය හා වර්ගවාදය’ අත්හරින ලෙස දෙමළ ජනතාවගෙන් ද තමන් ඉල්ලා සිටින බවයි ගාන්ධි කියා සිටියේ.
‘උතුරේ දෙමළුන්’ ලෙස සලකමින් තමන් කොන් කර දැමීම සිත් රිදුමක් වන්නා සේ ම ‘දකුණේ සිංහලයන්’ ලෙස අනෙක් පිරිස හඳුන්වාලීම ද අවමානයක් වන බව දෙමළ ජනතාවත් අවබෝධ කර ගත යුතු බවයි ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි සිය දෙසුමේ දී පෙන්වා දුන්නේ.








