සිවිල් සංවිධාන එකමුතුවෙන් රජයට යෝජනාවලියක්

විපතට පත් වුවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකාවේ පවතින නීතියේ සංශෝධනයක් අත්‍යවශ්‍ය බවයි එක්සත්ජාතීන්ගේ යෝජනාවේ සඳහන් වන්නේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, විපතට පත් වුවන්ට සහන සැලසීමට ශ්‍රී ලංකාවේ පවතින නීතියේ සංශෝධනයක් අත්‍යවශ්‍ය බවයි එක්සත්ජාතීන්ගේ යෝජනාවේ සඳහන් වන්නේ

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තේරී පත් වී වසරක් පිරීම සමරනු වස් සිවිල් සංවිධාන එකමුතුව සහ සිවිල් සංවිධාන ක්‍රියාධරයන් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂාකිරීම, වගවීම සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය වෙනුවෙන් ගත හැකි පියවර ගණනාවක් පිළිබඳව රජයට යෝජනා කොට තිබේ.

සංකීර්ණ නඩු විභාග කිරීමට පහසුව සැලසෙන පරිදි විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු බවටත් ඔවුන් යෝජනා කොට තිබෙන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක වූ ‘රයිට්ස් නව්’ මානව හිම් කම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන ප්‍රකශ කළේ.

දෙදහස් පහළොව වසරේ නව රජය බලයට පත් වීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ පැහැදිලි වෙනසක් සිදු වූ බව පැවසූ ඔහු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

මේ යෝජනාවට පදනම් වන්නේ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවේ සඳහන් යෝජනා ම බව පැවසූ සුදර්ෂණ ගුණවර්ධන සඳහන් කළේ වගවීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ නඩු පැවරීමේ යාන්ත්‍රණයක් ඇතිකළ යුතුය යන්න එම යෝජනාවට ඇතුළත් වී ඇති බවයි.

ඒ අනුව විදේශ විනිසුරුවරුන්, විදේශ අභිචෝදකයන්, වෘත්තීය නීතිඥයන් සහ පරීක්ෂකයන් ට මෙරට නඩු විභාග සඳහා සහභාගී වීමට අවස්තාව ලබා දිය යුතුය යන්න ද එම යෝජනාවට ඇතුලත් වූ කාරණයක් බවයි ඔහු සඳහන් කළේ.

අතීතයේ සිදුවූ එදිරිවාදිකම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නව නීති ගෙන ආ යුතුය යනුවෙන් සඳහන් වන්නේ පවතින නීති ඒ සඳහා ප්‍රමාණවත් නොවන නිසාදැයි ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ දේශීය නීතිය සංශෝධනය කල යුතු බවට ජාත්‍යන්තර සම්මුතියට අනුව බැඳී සිටින බවයි. විපතට පත් වුවන්ට සහන සැලසීමට එවැනි සංශෝධනයක් අත්‍යවශ්‍ය බවද ඔහු පැවසුවේය.

එසේ නොවන්නේ නම් ශ්‍රී ලංකාව සිදුකළ මානව හිමිකම් කඩ කිරීම පිලිබඳ කරණය ජාත්‍යන්තර අධිකරණයකට ගෙන යා හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.