සිවිල් සංවිධාන අළුත්ගම ප්‍රහාරය හෙළා දකී

අළුත්ගම සිදු කල පහරදීම් හෙලා දකින සිවිල් සංවිධාන ශ්‍රිලංකාවේ සියලු ජනකොටස් එකමුතුව දිවි ගෙවිය යුතු බවයි අවධාරණය කරන්නේ.
ඔවුන් මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සහ අනිකුත් සිවිල් සංවිධාන එක් ව කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී.
බද්දේගම සමිත හිමි, මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි, ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ, විශ්ව විද්‍යාල ආචාර්යවරයන්ගේ සංගමයෙ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර , මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු ආගමික සහ සිවිල් සංවිධාන රැසක නායකයන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
අලුත්ගම සහ බේරුවල සිදු වූ දේ පිළිබඳ සමාජය නිහඬව නොසිට හඬ නැගිය යුතු බවයි ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.
“මේ වෙන දේවල් බැලුවම පුදුම පිළිකුලක් ඇති වෙනවා, බැලූ බැල්මට පෙනෙන්නේ අපි රස්තියාදුකාර රාජ්‍යයක තත්ත්වයට පත් වෙලා කියන එක”යැයි ඔහු කියා සිටියි.
අන්තවාදී සුළු පිරිසක් කළ හානියෙන් සමස්ත සංඝ පරපුරත් සාමයට ලැදි බෞද්ධ ජනතාවත් අපහසුවට පත් වී ඇතැයි දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියෝ ප්‍රකාශ කළහ.
“මීට යම් අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයි කියන එක බොහොම පැහැදිලියි, ඒ පිරිස බොහොම සුළු කණ්ඩායමක්, බොහොම රළු කණ්ඩායමක්” යැයි සමිත හිමි කියා සිටියි.
මේ සිදුවීම නිසා ශ්‍රී ලංකාව විශාල අපකීර්තියකට ලක් වී ඇතැයි ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.
මෙවැනි ජනවාර්ගික ගැටුම් ඇතිවීම වැලක්වීමට වහා පියවර ගන්නා ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටි බව ජාතික සාම මණ්ඩලයේ ජෙහාන් පෙරේරා පවසයි.
වහාම නිතිය ක්‍රියාත්මක කරන්නැයි නිවේදනයක් නිකුත් කරමින් තමන් රජයෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.
රටක ජනවර්ග අතර හට ගන්නා ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට කටයුතු නොකළහොත් ජාත්‍යන්තර මැදිහත් වීම් සිදුවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවා සිටියි.








