'බ්‍රෙසියර් එකට වඩා ලංකාවේ ප්‍රශ්න නැවක් තියෙනවා'

'ලංකාවේ ගැහැණු සහ ගැහැණුන්ගේ ඇඳුම් ගැන තවමත් පිරිමි තමයි තීන්දු කරන්නේ. තාමත් ඒවා මහා ප්‍රශ්න'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලංකාවේ ගැහැණු සහ ගැහැණුන්ගේ ඇඳුම් ගැන තවමත් පිරිමි තමයි තීන්දු කරන්නේ. තාමත් ඒවා මහා ප්‍රශ්න'
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සංදේශය, ලන්ඩන්

ශ්‍රී ලංකාවේ 'අපේකමට නිග්‍රහ කෙරෙන, අශිෂ්ඨ, අශීලාචාර' දේ පිළිබඳව සලකා බලන්නේ නම් තනපටයට වඩා 'ප්‍රශ්න නැවක්' තිබෙන බව ලේඛිකාවක සහ සමාජ ක්‍රියාධාරිනියක වන කුමාරි කුමාරගමගේ පවසයි.

ඇය ඒ බව කියා සිටියේ පසුගියදා කොළඹදී පැවැත්වුණු එන්රිකේ ඉග්ලේසියස් ගේ <italic>Sex and Love</italic> සංගීත සංදර්ශනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පළ කළ අදහස් පිළිබඳව <link type="page"><caption> බීබීසී සංදේශය සමඟ</caption><url href="https://audioboom.com/boos/4002825-2015-29" platform="highweb"/></link> සංවාදයකට එක්වෙමින්.

එම සංදර්ශනයේදී ගායකයා වෙත තනපටය විසිකිරීම සහ තරුණියක් වේදිකාවට දිව ගොස් ගායකයා වැළඳ ගැනීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රබල සංවාදයකට ලක්වූ අතර, එය 'සිංහල බෞද්ධ සංස්කෘතියට නිග්‍රහ කෙරෙන, අශිෂ්ඨ, අශීලාචාර'හැසිරීමක් ලෙසිනුයි ජනාධිපතිවරයා විග්‍රහ කළේ.

මුදලට මනුෂ්‍යත්වය විකිණීමට තවදුරටත් තමන් ඉඩ නොදෙන බවත් <link type="page"><caption> ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන</caption><url href="http://www.bbc.com/sinhala/sri_lanka/2015/12/151227_smbp_maithri_enrique_iglesias" platform="highweb"/></link> සඳහන් කළේ අම්පාරේ පැවති උත්සවයකදී ජනතාව අමතමින්.

'ලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය හොයන්නේ මැදපෙරදිග යන දුප්පත්ම, දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ රට තුල කිසිම ගෞරවයක්, ආදරයක් නෑ'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය හොයන්නේ මැදපෙරදිග යන දුප්පත්ම, දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ රට තුල කිසිම ගෞරවයක්, ආදරයක් නෑ'

එහෙත් බරපතල තර්ජන ගර්ජන මධ්‍යයේ මීට වසරකට ඉහතදී තමන් ඇතුළු කාන්තාවන් ජනාධිපතිවරයා බලයට පත්කරගත්තේ මැදපෙරදිග දුක් විඳින ශ්‍රී ලාංකීය කාන්තාවන් මුහුණදෙන ගැටළු, යුද ගැටුම් හමාර වී වසර හයක් ගෙවීගියත් තවමත් දුක් විඳින උතුරේ කාන්තාවන් මුහුණදෙන ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් 'මානුෂිකව, සංවේදීව, කරුණාවන්තව සහ අවංකව' විසඳුම් ලබා දෙනු පිණිස බවයි <link type="page"><caption> කුමාරි කුමාරගමගේ</caption><url href="https://audioboom.com/boos/4005303" platform="highweb"/></link> පවසන්නේ.

"ලංකාවේ වැඩියෙන්ම විදේශ විනිමය හොයන්නේ මැදපෙරදිග යන දුප්පත්ම, දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ රට තුල කිසිම ගෞරවයක්, ආදරයක් නෑ. එතකොට ඒ මිනිස්සුන්ව එහෙම යවන්න ඕනේ නෑ මේ රට තුල මෙච්චර දූෂණයක් සිදු නොවී තිබුණ නම්."

ජනාධිපතිවරයාගෙන් තමන් බලාපොරොත්තු වූයේ එවැනි ගැටලුවලට විසඳුම් ලබාදීම බව පවසන ලේඛිකාව, එවැනි කිසිදු ගැටලුවක් විසඳි නොතිබියදී 'කොහෙද යන බ්‍රෙසියර් එකක්' ගැන කතාකරන්නේ මන්දැයි යන්න ගැටලුවක් බවත් පවසන්නීය.

'දැන් නිරුවත් වෙරළවල් ලෝකේ තියෙනවනේ? සවුනවලට යද්දී ගෑනු, පිරිමි භේදයක් නැතුව නිරුවත්ව ඇතුලට යනවනේ? නිරුවත කියන්නේ මහා පුදුමාකාර, වසාගතයුතු පවුකාර දෙයක් නෙවෙයිනේ?'

ඡායාරූප මූලාශ්‍රය, Kyra dutt

ඡායාරූප ශීර්ෂ වැකිය, 'දැන් නිරුවත් වෙරළවල් ලෝකේ තියෙනවනේ? සවුනවලට යද්දී ගෑනු, පිරිමි භේදයක් නැතුව නිරුවත්ව ඇතුලට යනවනේ? නිරුවත කියන්නේ මහා පුදුමාකාර, වසාගතයුතු පවුකාර දෙයක් නෙවෙයිනේ?'

"වැරැද්ද තියෙන්නේ ඇත්තටම ඒක වැරැද්දක්ද කියන එක." <italic>(<link type="page"><caption> කුමාරි කුමාරගමගේ සමඟ සංවාදයට සවන්දෙන්න</caption><url href="https://audioboom.com/boos/4005303" platform="highweb"/></link>)</italic>

ලොවපුරා රසික රසිකාවියන් සිය ගීතවලින් මන්මත් කරවන එන්රික ඉග්ලේසියස් සිය රසිකයන් සමඟ ඉතා මානුෂික ලෙසින් සමීපවීම ඔහුගේ සාමාන්‍ය සිරිත බව පෙන්වාදෙන කාන්තා හිමිකම් ක්‍රියාධාරිනිය, එහිදී තරුණියක වැළඳගැනීම විග්‍රහකරන්නේ 'සංස්කෘතිය, සදාචාරය' නැමති බැම්මෙන් බැඳ තිබුණු බැමිවලින් වසා තිබුණු මනුස්සකම උතුරා යාමක් ලෙසින්.

"අපේ ලංකාවේ ඕනෑතරම් ෂෝස් තියෙනව, කෙල්ලන්ව ස්ටේජ් එකට නග්ගවල නටවනවා. ඉතාම කැත, දෙපිට කැපෙන කුණුහරුප කියනවා. දැන් මේවා පේන්නෙවත් නෑ."

එහිදී තනපටයක් විසි කළේ කවුරුන්දැයි නොදන්නා නමුත් ලාංකීය සමාජයට එය එතරම් ගැටලුවක් වන්නේ මන්දැයි යන්න කුමාරි කුමාරගමගේට බරපතල ගැටලුවක්.

"ලංකාවේ ගැහැණු සහ ගැහැණුන්ගේ ඇඳුම් ගැන තවමත් පිරිමි තමයි තීන්දු කරන්නේ. තාමත් ඒවා මහා ප්‍රශ්න."

සිය රසිකයන් සමඟ ඉතා මානුෂික ලෙසින් සමීපවීම එන්රිකේ ඉග්ලේසියස් ගේ 'සාමාන්‍ය ස්වභාවය'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය රසිකයන් සමඟ ඉතා මානුෂික ලෙසින් සමීපවීම එන්රිකේ ඉග්ලේසියස් ගේ 'සාමාන්‍ය ස්වභාවය'

එනමුත් ජනාධිපතිවරයා පෙන්වාදෙන 'සිංහල, බෞද්ධ සංස්කෘතිය' යනු එම ආකල්පම විය හැකි නොවේදැයි මා කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ සංස්කෘතිය යනු නිරන්තරයෙන් වෙනස්වන, රටකින් රටකට පමණක් නොව රටක් තුල පවා ප්‍රදේශ, පන්ති, කාලය යනාදී වශයෙන්ද වෙනස්වන ප්‍රපංචයක් බවයි.

මේ අතර අම්පාරේදී තමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මතුවුනු විවේචනවලට අඟහරුවාදා පිළිතුරු දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිරුවතින් මහමඟ යාමේ නිදහස ලබාදිය යුතු යයි විවේචකයන් තමාගෙන් ඉල්ලා සිටින්නේදැයි ප්‍රශ්න කළේය.

"දැන් නිරුවත් වෙරළවල් ලෝකේ තියෙනවනේ? සවුනවලට යද්දී ගෑනු, පිරිමි භේදයක් නැතුව නිරුවත්ව ඇතුලට යනවනේ?," ජනපතිවරයාගේ ප්‍රකාශයට ලේඛිකාවගේ ප්‍රතිචාරයයි, ඒ.

"මම කියන්නේ ඒක සිදුවෙන විදියට සිදුවෙච්ච දෙන්. නිරුවත කියන්නේ මහා පුදුමාකාර, වසාගතයුතු පවුකාර දෙයක් නෙවෙයිනේ?."

කාන්තාවගේ සියලුම ක්‍රියාකාරකම් පාලනය කිරීමට පුරුෂයන් මෙතරම් කැස කවන්නේ මන්දැයි තමන්ට වටහාගත නොහැකි බවයි, <link type="page"><caption> කුමාරි කුමාරගමගේ</caption><url href="https://audioboom.com/boos/4002825-2015-29" platform="highweb"/></link> පවසන්නේ.

"සමානව අයිතිවාසිකම්, සමානව නිදහස, සමානව බුද්ධිය තියෙන්නේ නම් තමන්ගේ හැසිරීම කරන්න කාන්තාවන්ට භාරදෙන්න."