ගොවීන්ට ඉංග්‍රීසියෙන් අයදුම්පතක්

- Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
- Role, හම්බන්තොට
මෙවර මහ කන්නයේ අස්වනු වී අලෙවි මණ්ඩලයට අලෙවි කිරීමට අපේක්ෂා කරන ගොවීන් අන්තර් ජාලය හරහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා වන අයැදුම් පත ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
මේ හේතුව නිසා වී ගොවීන් දැඩි අපහසුතාවයකට පත් වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි.
තම අස්වනු වී අලෙවි මණ්ඩලයට ලබා දීම සඳහා ගොවීන්ගේ ඉදිරිපත් වීම අඩු විය හැකි බව ද ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ මාධ්‍ය ලේකම් ශෂී එදිරිසූරිය ප්‍රකාශ කළේය.

‘මෙවැනි වැඩසටහන් හදන්න කලින් ගොවි සංවිධාන සමග සාකච්ඡා කරලා කළ යුතුයි. ඒ වගේම නිවැරදි තොරතුරු ගොවින් ළඟ නෑ. ඒ නිසා ගොවි සංවිධාන සමග එක්ව ඉතා විධිමත්ව කරනවා නම් මේ වැඩ පිළිවෙළේ වරදක් නෑ’ ඔහු පැවසීය.
මින් ඉදිරියට වී අලෙවි මණ්ඩලයට අස්වනු අලෙවි කරන ගොවීන් තම වෙබ් අඩවිය හරහා ලියා පදිංචි විය යුතු බව අනීවාර්ය කෙරෙන නිවේදනය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සංවිධාන වෙත යවා ඇත.

ගොවීන් ලියාපදිංචි වීම මගින් අතරමැදියන් පැමිණ වී අලෙවි මණ්ඩලයට අස්වනු විකිණීම නතර වන බැවින් එහි වාසිය අත් වන්නේ ගොවීන්ට ම බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපතිවරයා පවසන්නේ.
කෙසේ නමුත් අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් තිබීම පිළිබඳව විමසු විට අලෙවි මණ්ඩලයේ සභාපති එම් බී දිසානායක කියා සිටියේ ඉදිරියේ දී එය සිංහල භාෂාවෙන් සැකසීමට කටයුතු යොදන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, Rahul Samantha Hettiarachchi
‘මෙහෙම කෙරුනහම තියෙන වාසිය තමයි මේවා ගොවිජන සේවා එකෙනුත් ලැයිස්තු අරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් දත්ත ලබාගෙන මේ සියල්ල සංසන්දනය කරලා නිවැරදි ගොවින්ගේ එකතුවක් හදන්න පුළුවන්. එතකොට රටම දන්නවා නිවැරදි ගොවින් කවුද කියලා. අසරණ ගොවියන් නිලධාරීන්ට යටත් වෙලා. සල්ලි දුන්නොත් විතරයි අයදුම් පත්‍ර දෙන්නේ. මේ හැම කාරනාවකදිම මේක වාසියක් වෙනවා’ සභාපතිවරයා පැවසීය.








