සුනාමියට වසර එකොළහක්: 'අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා'

- Author, රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
- Role, හැටන් නගරයේ සිට
සිරිලක දකුණු සහ නැගෙනහිර ඇතුළු මුහුදුබඩ ප්‍රදේශ ගණනාවක දහස් සංඛ්‍යාත ජීවිත සුනාමි රකුසාට ගොදුරු වී මෙමසට වසර එකොළහක්.
2004 දෙසැම්බර් 26 වනදා සුනාමි ඛේදවාචකයට මුහුණ දුන්නේ මුහුදුබඩ විසූවන් පමණක්ම නොවේ.
ගාල්ලේදී සුනාමියට හසුව අතුරුදහන් වූ තම ස්වාමියා එන තෙක් මඟ බලා සිටින මරිවෙර් මරිය කන්නු කියා පාන්නේ රුදුරු දළ රළ මුහුදු සීමාවෙන් අඩි හාරදහසකින් දිවි ගෙවන්නන්ටත් දැනී ඇති වග නොවේද?
මරිවෙර් මරිය කන්නු දිවි ගෙවන්නේ හැටන් ග්ලැන්කන් වතු ප්‍රදේශයේ වතු නිවසක් තුළයි.
පනස් අට වියැති ඇය තිදරු මවක්.
ඇයට තම ස්වාමියා, පොරෙවියා පිල්ලේ හමු වන්නේ හැටන් ග්ලැන්කන් වත්ත ප්‍රදේශයේදීයි.
එවකට කොළඹ තේ කඩයක රැකියාව කළ පොරෙවියා පිල්ලේ විවාහ වීමෙන් පසු නැවත කොළඹ නොගොස් තේ වතුවල රැකියාවට යන්නට විය .

මේ අතර මරිවෙර් මරිය කන්නු ගෘහ සේවය සඳහා විදෙස් ගත වන්නේ දරුවන් ලැබී පවුලේ ආර්ථිකයට බලපෑම් එල්ල වීම හේතුවෙන්.
එසේ විදෙස් ගතව සිටින අතරතුර තම සැමියා සුනාමියට හසුව අතුරුදහන් වී ඇති බව දැන ගත් වහාම ඇය ලංකාවට පැමිණ තම ස්වාමියා සොයන්නට විය.
දශකයකට අධික කාලයක් ගත වී ඇති නමුත් පොරෙවියා පිල්ලේ පිළිබඳ අදටත් තොරතුරක් නොමැත.
‘මම රට ගියාට පස්සේ එයා ඒ හිතේ අමාරුවටත් එක්ක ගාල්ලේ රස්සාවකට ගිහින්. මම තාම මග බලා ගෙන ඉන්නේ මගේ මහත්තයා එනකන්. දරුවන්ගේ අධ්‍යාපනයත් මග නතර උනා. එයාලා කොළඹ බංගලාවක රස්සාවකට ගියා. මගේ දරුවොත් ගොඩක් දුක් විඳිනවා. මේ ලයිම් කාමරේ හිර වෙලා මට තනියම ජීවත් වෙන්න වුනා. එයා හිටියනම් එහෙම වෙන්නේ නෑ.’

'ඒ වගේම මුලතිවු වලදී මගේ අයියා සුසෙයි පිච්චමුත්තුත් එයාගේ බිරිඳත් දරුවෝ හතර දෙනාත් සුනාමියට අහු වුනා. මගේ අයියයි ලොකු දුවයි එකෙන් තුවාල වෙලා බේරුනා. දරුවො තුන් දෙනෙකුයි බිරිඳයි සුනාමියට ගහ ගෙන ගියා. එයා තමයි මගේ එකම අයියා එයාට තාම හරිය ඇවිදගන්නවත් බෑ .ලොකු දුව ජීවිතය බේර ගෙනතිබුණේ මී හරකෙකුගේ ඇඟේ එල්ලිලා’
‘අයියා මුලතිවුවල මාළු රස්සාව තමයි කළේ. මම රට හිටපු නිසා නත්තලට කලින් අපේ දරුවන් බලන්න මෙහාට ඇවිත් නත්තලට පල්ලි යන්න ඕන කියලා 24 වෙනිදා මුලතිවු ගිහින් තියෙනවා. සුනාමියෙන් අපි මෙහෙ හිටියත් අපේ ජීවිතත් විනාශ වුනා මහත්තයා. අපෙත් පවුල් පිටින් සුනාමියට ගියා. අපේ ජිවිතත් සුනාමියට අහුවෙලා’ මරිවෙර් මරිය කන්නු පිච්චමිත්තු දෑස් පිස දමමින් පැවසුවාය.








