අමාත්‍ය ධුරයෙන් 'ඉල්ලා අස් වුනත් මන්ත්‍රී ධුරයේ රැඳී සිටිනවා'

"අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතයක් තියෙනවා මම විෂය භාර අමාත්‍යවරයා ලෙස හිඳිමින් මේ පරීක්ෂණය සිදු වුනොත් ඒක ගැන ජනතාව සැහීමකට පත්වෙන එකක් නැහැ කියලා"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතයක් තියෙනවා මම විෂය භාර අමාත්‍යවරයා ලෙස හිඳිමින් මේ පරීක්ෂණය සිදු වුනොත් ඒක ගැන ජනතාව සැහීමකට පත්වෙන එකක් නැහැ කියලා"
    • Author, අසාම් අමීන්
    • Role, කොළඹ සිට

ඇවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක වාතාවරණය යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ඉහත කී සමාගම සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් පරීක්ෂකවලට සිය ධුරය හරහා බාධාවක් සිදු වෙතැයි ජනතාව සහ මන්ත්‍රීවරුන් අතර මතු වී තිබෙන සැකය හමුවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි හිටපු අමාත්‍ය තිලක් මාරපන පවසන්නේ.

ඇවන්ගාඩ් විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අද සඳුදා උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාරපන අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් ගෙන ඒමට අමාත්‍යවරු පිරිසක් සුදානම් වෙමින් සිටියහ.

එම සූදානම අතරතුර තම නිවසේ මාධ්‍ය හමුවක් කැඳවමින් තිලක් මාරපන හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි.

ඇවන්ගාඩ් සමාගමේ කටයුතු නීත්‍යනුකූල බවට පසුගියදා පාර්ලිමෙන්තුවේදී තිලක් මාරපන හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශය හේතුවෙන් ඔහුට කැබිනට් මණ්ඩලයේදී මෙන්ම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද දැඩි විවේචන එල්ල විය.

දැඩි විවේචන

ඇවන්ගාඩ් සමාගමේ නීතිවේදියකු ලෙස කටයුතු කළ තිලක් මාරපන, පාර්ලිමේන්තු අමාත්‍යවරයෙකු ලෙස ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීම රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් හඳුන්වනු ලැබුවේ බැදියාවන් අතර ගැටුමක් ලෙසයි.

අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තිලක් මාරපන හිටපු අමාත්‍යවරයා කියා සිටියේ තමා තවදුරටත් අමාත්‍ය ධුරයේ කටයුතු කරන්නේ නම් ඇවන්ගාඩ් පරීක්ෂණ මගින් තහවුරු වන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇති නොවනු ඇති බවයි.

"අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතයක් තියෙනවා මම විෂය භාර අමාත්‍යවරයා ලෙස හිඳිමින් මේ පරීක්ෂණය සිදු වුනොත් ඒක ගැන ජනතාව සැහීමකට පත්වෙන එකක් නැහැ කියලා"

එවැනි වාතාවරණයක් යටතේ ආණ්ඩුව අපහසුතාවයකට පත් නොවිය යුතු බව හැඟුණු නිසා තමන් ඉල්ලා අස් වූ බව ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා කෙසේ වුවත් තවදුරටත් මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවයි ප්‍රකාශ කළේ.

'නීත්‍යනුකූලයි'

ඇවන්ගාඩ් සමාගමේ කටයුතු නීත්‍යනුකූල බවට නැවත වරක් මෙම මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළ හිටපු අමාත්‍යවරයා එම සමාගම සුපුරුදු පරිදි තම කටයුතු පවත්වාගෙන යන බවත් ප්‍රකාශ කළේය.

මෑතකදී අත්අඩංගුවට පත් ඇවන්ගාඩ් සමාගමට අයත් නෞකාවේ ගබඩා කොට තිබූ ආයුධ මුල් කර ගනිමින් පැන නැගී ඇති ගැට‍ළු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී හිටපු අමාත්‍යවරයා කියා සිටියේ අත්අඩංගුවට පත් නෞකාව සම්බන්ධ කරුණු තමන් නොදන්නා බවයි.

විජේදාස රාජපක්ෂ

මේ අතර අද උදෑසන ඇවන්ගාඩ් විමර්ශන කටයුතු පිළිබඳ විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්විණි.

එහිදී තිලක් මාරපන අමාත්‍යවරයා සමග ඇවන්ගාඩ් සමාගම රකින බවට චෝදනා එලල් වී ඇති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ දීර්ඝ ලෙස ඇවන්ගාඩ් සමාගමේ නීතිමය තත්වය පිළිබඳ කරුණුදක්වා සිටි බවයි වාර්තා වන්නේ.

ඇවන්ගාඩ් විමර්ශන සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවා සාකච්ඡා කොට සතියක් ඇතුළත ඒ පිළිබඳ තීරණයක් ගැනීමට එහිදී එකඟතාව පළ වූ ඇතිවූ බවයි එම සාකච්ඡාවට එක් වූ අමාත්‍යවරයකු බීබීසීයට කියා සිටියේ.