අසැබි ලිංගික වෙබ් අඩවි අධීක්ෂණයට ලක් කළ යුතුද?

'ටෙලිෆෝන් හරහා පින්තූර අරගෙන ඒ සමගම ඇතිවෙලා තියන අපරාධ දිහා බැලුවහම, මේක අධ්‍යාපනය පිළිබඳ කාරණයක්.මෙය වැඩිහිටියන් දැනුවත් කිරීම පිළිබඳ කාරණාවක්'

ඡායාරූප මූලාශ්‍රය, PA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ටෙලිෆෝන් හරහා පින්තූර අරගෙන ඒ සමගම ඇතිවෙලා තියන අපරාධ දිහා බැලුවහම, මේක අධ්‍යාපනය පිළිබඳ කාරණයක්.මෙය වැඩිහිටියන් දැනුවත් කිරීම පිළිබඳ කාරණාවක්'

අසභ්‍ය වෙබ් අඩවි සහ එවැනි දර්ශන පළ කරන සමාජ ජාල වෙබ් පිටු අධීක්ෂණය සඳහා නීති සම්පාදකයන් ඇතුළු වගකිවයුත්තන් ක්‍රියා කළ යුතු බව මානව හිමිකම් ක්‍රියාධරනියක් වන නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පවසයි.

ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි ක්‍රියාකාරිත්වයක් නොමැති අවස්ථාවක අසභ්‍ය වෙබ් අඩවි හරහා සමාජයට අහිතකර බලපෑම් එල්ල වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

'ඒක වාරණයක් නොවෙයි. අද වෙනකොට ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්න. ටෙලිෆෝන් හරහා පින්තූර අරගෙන ඒ සමගම ඇතිවෙලා තියන අපරාධ දිහා බැලුවහම, මේක අධ්‍යාපනය පිළිබඳ කාරණයක්.මෙය වැඩිහිටියන් දැනුවත් කිරීම පිළිබඳ කාරණාවක්' නීතිඥවරිය පවසන්නීය.

ඉකුත් අගෝස්තු මාසයේ අසැබි වෙබ් අඩවි වලට පනවා තිබූ තහනමක් ඉන්දීය රජය විසින් ඉවත් කරන ලද්දේ සමාජ මාධ්‍ය ඔස්සේ නැගුණු විරෝධය හමුවේයි.

මේ අතර අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ නිතීඥවරියෝ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ.

'කාන්තාවන්ගේ මාංශය විකිණීමේ ව්‍යාපාරයක්'

ඡායාරූප මූලාශ්‍රය, Thinkstock

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කාන්තාවන්ගේ මාංශය විකිණීමේ ව්‍යාපාරයක්'

අසැබි ලිංගික දර්ශන මගින් තරුණ පරම්පරාවේ සිත් දූෂ්‍ය වන බවයි ඉන්දීය නීතිඥවරියන් සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ.

'ඉන්දියාවේ සාමාන්‍යයෙන් තියනවා සම්ප්‍රදායක්. පොදු යහපත සඳහා නඩු පැවරීම.මම මේ නඩුව දිහා බලන්නේ පොදු යහපත උදෙසා නීතිඥවරියන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් විදිහට' නීතිඥ නිමල්කා ප්‍රනාන්දු කියා සිටියේ අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉන්දීය නීතිඥවරියන් කළ ඉල්ලීම පිළිබඳ අදහස් දක්වමින්.

'විශේෂයෙන්ම සමාජ වෙබ් අඩවිවලින් ප්‍රබුද්ධ සාකච්ඡාවක්, සමාජය ඉහළ තලයට එසවීමේ සාකච්ඡාවක් කියන කරණයෙන් වියෝ වෙලා මේ ආකාරයට අසැබි දර්ශන ප්‍රදර්ශනය කරමින් සමාජයට අහිතකර ක්‍රියාකාරිත්වයක් කරා යන මොහොතක අපිට සිද්ධ වෙනවා යම් කිසි අධීක්ෂණයක් කරන්න' ඇය පවසයි.

'අසභ්‍ය දර්ශන යනු පෞද්ගලිකත්වයෙන් එහා ගිය විශාල ජාවාරමක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, 'අසභ්‍ය දර්ශන යනු පෞද්ගලිකත්වයෙන් එහා ගිය විශාල ජාවාරමක්'

'ව්‍යාපාරයක් හැටියට වෙබ් අඩවිවල 'හිට්ස්' වැඩි කර ගැනීම සහ ඒ හරහා කාන්තාවන් විකිණීම යන කාරණය ගත්තම මෙය එක්තරා විදිහකට කාන්තාවන්ගේ මාංශය විකිණීමේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන නිසා නෛතික පියවර ගත යුතුයි කියන තැනයි මම ඉන්නේ' ඇය සඳහන් කළාය.

'අසභ්‍ය දර්ශන යනු පෞද්ගලිකත්වයෙන් එහා ගිය විශාල ජාවාරමක් බවට පත් වී ඇති ව්‍යාපාරයක් බව ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති කාරණයක්' බවත් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දෙන්නීය.

අසැබි වෙබ් අඩවි හා දර්ශන සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොමැති කම හේතුවෙන් රූපවාහිනිය සහ පරිගණක ඔස්සේ සමාජයට විශාල බලපෑමක් සිදු වන බවත් මානව හිමිකම් ක්‍රියාධාරි නියක් වන නීතිඥ නිමල්කා ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියාය.