මාධ්‍යවේදී ඝාතකයන්ට 'දඬුවම් නොදුන් රටවලින් ශ්‍රී ලංකාව හය'

ඡායාරූප මූලාශ්‍රය, CPJ
මරා දැමුණු මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් නීතිය ඉදිරියට පමුණුවා නොමැති රටවල් අතර තවදුරටත් ශ්‍රී ලංකාව පසු වන බව සීපීජේ ආයතනය පවසයි.
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සීපීජේ ආයතනයේ(Committee to Protect Journalists) 2015 වර්ෂය සඳහා වන වාර්තාවට අනුව මාධ්‍යවේදීන් මරා දැමූ ඝාතකයන්ට දඬුවම් නොදුන් රටවල් අතර ශ්‍රී ලංකාව පසු වන්නේ හය වැනි ස්ථානයේයි.
2005 වසරේ සැප්තැම්බර් 01 සිට 2015 වසරේ අගෝස්තු 31 දක්වා කාලය ඇතුළත අවම වශයෙන් මාධ්‍යවේදීන් පස් දෙනෙකුවත් ඝාතනය වී එකඳු අපරාධකරුවකුට හෝ දඬුවම් කොට නොමැති රටවල් දාහතරක් ඇති බව සීපීජේ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන්.
පසුගිය වසරේ නිකුත් කළ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසු වූයේ සිව් වන ස්ථානයේයි.

''2005 වසරේ සැප්තැම්බර් 01 දිනට පසු මරා දැමුණු මාධ්‍යවේදීන්ගේ ඝාතනවලට වගකිවයුතු අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දී නොමැත. නමුත් ශ්‍රී ලංකාව හය වන ස්ථානය දක්වා පසු බැස තිබෙන්නේ යුද්ධය අවසාන වූ 2009 වසරේ සිට මේ දක්වා මාධ්‍යවේදී ඝාතන වාර්තා නොමැති වීම හේතුවෙන්''
මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාධ්‍යවේදීන් 09 දෙනකු ඝාතනය වී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.
ලසන්ත වික්‍රමතුංග, ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළු ඝාතනය වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් පිළිබඳ සොයා බලන බවට වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිඥා දී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, KS Udayakumar
2005 සැප්තැම්බර් 01 - 2015 අගෝස්තු 31 දක්වා කාලය ඇතුළත අවම වශයෙන් මාධ්‍යවේදීන් පස් දෙනෙකුවත් ඝාතනය වී ඇති රටවල්.
01.සෝමාලියාව, 02.ඉරාකය, 03.සිරියාව, 04.පිලිපීනය, 05.දකුණු සුඩානය, 06.ශ්‍රී ලංකාව, 07.ඇෆ්ගනිස්තානය, 08.මෙක්සිකෝව,09.පාකිස්තානය,10.රුසියාව,11.බ්‍රසීලය,12.බංග්ලාදේශය,13.නයිජීරියාව,14.ඉන්දියාව








