පොලීසිය පාසල් සිසුවාගේ 'අයීතීන් කඩලා'

ඡායාරූප මූලාශ්‍රය, Getty
සේයා සදෙව්මි දැරිය දූෂණය කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් 17 හැවිරිදි පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ප්‍රකාශ කරයි.
මෙම පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් තිබුණේ ද යන්න මූලික ගැටලුව බවයි ඔහු පවසන්නේ.
නීතිය
සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇති බවත් එය විවාදයෙන් තොර බවත් පවසන ඔහු, එසේ නමුත් කිසිවකු අත් අඩංගුවට ගන්නා ආකාරය නීතියේ පැහැදිලිව සඳහන් වන බවත් පෙන්වා දෙන්නේය.

ලැබුණු කිසියම් තොරතුරක් අනුව කලබලවී කඩිමුඩියේ පාසල් සිසුවා අත් අඩංගුවට ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.
මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති තවත් සැකකරුවෙකු එම අපරාධය සිදු කළ බවට පිළිගෙන තිබෙන බව පවසන ඔහු වැරදි ආකාරයට පාසල් සිසුවා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි කිරීමක් කළ යුතු බව ප්‍රකාශ කළේය.
පෞද්ගලිකත්වය
1993 ළමා අයිතීන් පිළිබඳ සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බව පෙන්වා දෙන ආචාර්ය ප්‍රතිභා මහානාම එමගින් ළමුන්ගේ ගරුත්වය , ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කොට ඇති බව පෙන්වා දෙන්නේය.

ඡායාරූප මූලාශ්‍රය, Prasad Purnimal Jayamanne
"මේ සියල්ල කඩවෙලා මේ දරුවාට. විශාල ඛේදවාචකයක් බවට පත්වෙමින් තිබෙනව. භාරකාරයන් යටතේ හැදෙන්නේ. ඔවුන්ටත් ගැටලුවක්," යනුවෙනුයි සිසුවා මුහුණ දෙන තත්වය ඔහු විස්තර කළේ.
ළමුන්ගේ අනන්‍යතාව සුරැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැදී සිටින නමුත් සියලු විස්තර මාධ්‍යවලට ලබා දීම අනුමත කළ නොහැකි බව පැවසූ ඔහු දරුවකු සැකකරුවකු වුවත් පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතු බව පෙන්වා දෙයි.
අනන්‍යතාව
"ළමයා අපයෝජකයෙකු වෙන්න පුළුවන් සමහර වෙලාවට සැකකරුවකු වෙන්න පුළුවන්, නමුත් කිසිම ආකාරයකින් අනන්‍යතාව හෙළි කරන්න බැහැ. ජයාරූප පල කරන බැහැ. පෞගලිකත්වය ආරක්ෂා කරන්න ඕනැ. එය රජයේත් වගකීමක්," ඔහු ප්‍රකාශ කළේය.
සේයා සදෙව්මි දැරියගේ නිරුවත් ජායාරූප ෆේස් බුක් අඩවියේ පවා හුවමාරුවෙමින් තිබෙන බව කියා සිටි ඔහු එය වහා නතර කළ යුතු බවයි පැවසුවේ.
රටේ මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ඇමතිවරයකු , ඇමතිනියක , මාධ්‍ය ආයතන, සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියක් ඇති නමුත් මෙවැනි සිද්ධීන් අඩු කර ගැනීමට හැකිවී නැති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා තවදුරටත් ප්‍රකාශ කළේ.








