උතුරේ තනිවූ දමිළ කතුන්ගේ නොනිමි යුද්ධය

ශ්‍රී ලංකාවේ වසර තිහක් පැවති යුද්ධයෙන් විපතට පත්වූ කාන්තාවන්ට තවමත් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි පරිසරයක් උතුරේ ගොඩ නැගී නැති බව යුද්ධයෙන් වැන්දඹු වූ සහ සැමියා අතුරුදහන්ව තනිවූ කාන්තාවෝ පවසති.
ඔවුන් කායිකව සහ මානසිකව තවමත් දුක් වේදනා විඳින බවයි බීබීසි දෙමළ අංශය විසින් සිදු කළ විමර්ශනයකදී විපතට පත් කාන්තාවන් කියා සිටියේ.
අවතැන් වීම්, නිවාස විනාශ වීම, සැමියා සහ පවුලේ සාමාජිකයින් මිය යාම හෝ අතුරුදහන් වීම වැනි හේතූ නිසා තමන් අසරණව සිටින බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.
යුද්දය අවසන් වී වසර අවුරුදු හයක් ගතව තිබිය දීත් හරි ආකාරව සහන සේවා නොලැබීම සහ තමන්ට විශ්වාසය තැබිය හැකි දේශපාලන වාතාවරණයක් නොමැති වීම හේතුවෙන් අනාගතය සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිත තත්වයක් බවයි එම කාන්තාවන් පවසන්නේ.
විශේෂයෙන්ම වැන්දඹු කාන්තාවන් විසින් නඩත්තු කිරීමට සිදුව ඇති පවුල් විශාල වශයෙන් අභියෝග වලට මුහුණ දී සිටියි.
උතුරේ වව්නියාව ,කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම වැනි ප්‍රදේශ වල කාන්තාවන් තමන් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් බීබීසි වාර්තා කරු මානික්ක වාසම් සමගින් කතා බහක නිරත වූහ.
'පොරොන්දු විතරයි'
පොක්කනෙයි මන් ප්‍රදේශයට එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් සිය සැමියා ජීවිතක්ෂයට පත් වූ බවයි ජයසීලන් ශාන්තිනි පැවසුවේ.

ඇය මේ වන විට දරුවන් දෙදෙනා සමගින් ජීවිත අරගලයට තනිවම මුහුණ දෙමින් සිටියි.
ජයසීලන් ශාන්තිනි පැවසුවේ පසුගිය ජනවාරි මැතිවරණය වෙනුවෙන් බොහෝ දේශපාලනඥයන් නිවසට පැමිණ සිය ඡන්දය ඉල්ලා සිටි අතර දින සීයේ වැඩ පිළිවෙල යටතේ වැන්දඹු කාන්තාවන්ට සහන සලසන්න මුල් තැන දෙන බවත් පැවසූ නමුත් මේ දක්වා කිසිදු සහනයක් තමන්ට හිමිව නැති බවයි.
මේ වන විට කුලී වැඩ කරමින් ඉතා අපහසුවෙන් සිය දරුවන් සමගින් ජීවත් වන බව පැවසු ඇය වැඩි දුරටත් කියා සිටියේ මෙවර මැතිවරණයෙන් පසු පත්වන රජයෙන් පවා සහනයක් ලැබෙතැයි තමන්ට කිසිදු විශ්වාසයක් නැති බවයි.
ඇය පවසන්නේ මැතිවරණයට ලබා දෙන පොරොන්දු හුදෙක් පොරොන්දු ලෙසම ඉතිරි වන බවයි.
යුද්දය නිසා ඉතා දරුණු ලෙස විනාශයට පත් වූ නෙදුන්කේනි ප්‍රදේශයේ ඉතාමත් පැරණි ගම්මානයක් වන පෙරියමඩු හි ප්‍රධාන ජීවන උපාය කෘෂිකර්මයයි.
එම ගම්මානයේ ජීවත් වන වයස වේලුපිල්ලේ පොන්නුකුට්ටි වයස අවුරුදු 62ක වැන්දඹුවක්.
සිය සැමියා ඇතුළු පවුලේ ඥාතීන් සියල්ල මියගොස් සිය දරුවන් දෙදෙනා සමග ඇය ජීවත් වෙන්නේ තනිවයි.

“මගේ ගෑනු දරුවෝ දෙන්නත් එක්ක මම තනියම ඉන්නේ. මට හරියට ඇවිදින්නවත් බැහැ, කඩේට යන්න ඕනෙත් මගේ කැඩිච්ච කකුල් දෙකෙන්,මගේ සැමියා ෂෙල් වෙඩි වැදිලා මරුනා. පුතත් අතුරුදහන් වෙලා. දැනට මට සමෘද්ධියෙන් රුපියල් දාහක් ලැබෙනවා, ඊට අමතරව පින් පොතට දෙසිය පනහක් ලැබෙනවා. ඒකෙන් තමයි දරු දෙන්න එක්ක ජීවත් වෙන්නේ. මේ ඡන්දෙන් එන රජයක් මට ලැබෙන සහන මුදල් කීයකින් හරි වැඩි කරලා දෙයි කියලයි බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් පොන්නුකුට්ටි කියා සිටියේ කඳුළුපිරි දෙනෙතිනි.
ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයෙන් පසු ඇතිව තිබෙන දේශපාලන පසුබිමෙන් කාන්තාවන්ට තවමත් විසඳුමක් ලැබී නැති බවයි බීබීසිය කළ විමසීමේදී උතුරේ වැන්දඹු කාන්තාවන් කියා සිටියේ.
ලිංගික අතවර , ස්වාමි පුරුෂයෙක් නැතිව ජීවත් වීමට සිදු වීම, ජීවන උපායක් නොමැති වීම සහ සමාජ ප්‍රශ්න වලින් මිරිකී සිටින මෙම කාන්තාවන් බලාපොරොත්තු වන්නේ එළඹෙන මැතිවරණයෙන් පසුව පත් වන රජයෙන් යම් සහනයක් පමණි.








