ප්‍රථම වරට කාන්තාවන්ට වෙන්වූ වෘත්තීය සමිතියක්

කාන්තා සහයෝගිතා වෘත්තීය සමිතිය නමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ කම්කරු කාන්තාවන් වෙනුවෙන් වෙන්වූ වෘත්තීය සමිතියක් පිහිටුවා තිබේ.

නව කාන්තා වෘත්තීය සමිතියේ සභාපතිනිය පද්මිණි විජේසූරිය බීබීසිය සමග කතාබහකට එක් වෙමින් කියා සිටියේ කාන්තාවන්ට සුවිශේෂී ව බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාම්ප්‍රදායික වෘත්තීය සමිති මගින් ක්‍රියා නොකිරීම මෙම පියවර ගැනීමට හේතු වූ බවයි.

ඇය වැඩිදුරටත් කියා සිටියේ සාම්ප්‍රදායික වෘත්තීය සමිති වල වැඩි අවධානය යොමු වන්නේ වැටුප් ප්‍රශ්නය, සාමූහික ගිවිසුම් වැනි පොදු අංශ වලට වන අතර කම්කරු කාන්තාව මුහුණ දෙන ලිංගික අඩන්තේට්ටම් වැනි ප්‍රශ්න වලට අවධානය යොමු නොවන බවයි.

පවතින වෘත්තීය සමිති වල සාමාජිකත්වයේ සිටින අතර ම කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින, කාන්තා ප්‍රශ්න වලට පිළිතුරු සපයන සංවිධානයක අවශ්‍යතාව මතුව තිබෙන බැවින් මෙම සංවිධානය පිහිටුවා ගත බවයි පද්මිණි විජේසූරිය කියා සිටියේ.

කාන්තා නියෝජනය

ඡායාරූප මූලාශ්‍රය, AFP

පසුගිය මැයි දිනය සැමරීමට සිය නව වෘත්තීය සමිතියෙන් කාන්තාවන් පන්සීය දෙනෙකු සමග කොළඹ පවතී මැයි දිය උත්සවයට සහභාගී වීමටද කටයුතු කළ බව කාන්තා සහයෝගිතා වෘත්තීය සමිතියේ සභාපතිනිය පද්මිණි විජේසූරිය පැවසුවාය.

නිදහස් වෙළඳ කලාපයේ සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ දැනටත් වෘත්තීය සමිති පිහිටා තිබෙන අතර එම සමිති වල බොහෝමයක් සාමාජිකයන් කාන්තාවන් වුවත් සමිතියේ ඉහළ නිලතල සැම විටම හිමි වන්නේ පුරුෂ පාර්ශවයට වන බවයි ඇය පවසන්නේ.

එවැනි වෘත්තීය සමිති වල යම් නිලයකට කාන්තාවක් පත් වුවත් ඒ බොහෝ විට තීරණ ගැනීම සිදු කරන ප්‍රධාන නිලයන්ට නොව උප ලේකම්, උප භාණ්ඩාගාරික වැනි සුළු නිලයන්ට වන බවයි පද්මිණි විජේසූරිය කියා සිටියේ.