මහින්දගෙන් මෛත්‍රීට 'වක්‍ර ප්‍රතිචාරයක්'

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
අනුරාධපුර පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිමෛත්‍රීපාල සිරිසේන ගේ විශේෂ ප්‍රකාශයට සෘජු ප්‍රතිචාරයක් පළ කළේ නැත.
කෙසේ නමුත් පශ්චාත් යුද කාලීන ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමෙහිලා කැප වන බවට ඔහු කළ සඳහන, ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයට වක්‍ර ප්‍රතිචාරයක් පළ කිරීමක් ලෙසිනුයි පෙනී යන්නේ.
තමන් හිටපු ජනාධිපතිවරයාට සහාය නොදක්වන බවත්, එළැඹෙන මහා මැතිවරණයේදී ඔහු පරාජයට පත් වන බවත් ජනාධිපතිවරයා පසුගිය 14 වැනි දින විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
තමන් එම ප්‍රකාශයට අනුරාධපුර රැලියේදී පිළිතුරු දෙන බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් කළ විමසීමකදී සඳහන් කළේ.
කෙසේ නමුත් අනුරාධපුරයේ පැවැත්වුණු මංගල රැලියේදී ඔහු ඒ පිළිබඳව කිසිවක් සඳහන් නොකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය ආරක්ෂා කර ගැනීමේ අපේක්ෂාවෙන් බවයි ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානී අමල් ජයසිංහ බීබීසී සංදේශයට කියා සිටියේ.
පක්ෂයේ සමගිය
"ජනාධිපතිවරයාට පහරදීමක් කරන්නට ඔවුන් සූදානම් නොවෙච්ච බව පැහැදිලියි මොකද එහෙම කළා නම් පක්ෂයේ බෙදීම තවත් ඉස්මතු වෙන නිසා," ඔහු පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Amal Jayasinghe
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් ජනාධිපතිවරයා විවේචනය කිරීමෙන් වැලකී සිටි නමුත්, සන්ධානයේ අනෙක් නායකයෝ ජනාධිපති සිරිසේන විවේචනයට ලක් කළහ.
රැලියේ කථිකයන් සියලු දෙනාගේම දැඩි විවේචනයට ලක් වූයේ එක්සත් ජාතික පක්ෂය සහ අගමැති රනිල් වික්‍රමසිංහයි.
"හිටපු ජනාධිපතිවරයා කියා සිටිය, මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදුණු වෙලාවලදී ඔවුන්ට ජයගන්නට අමාරු වුනා, ඒ වගේම ගොඩක් කාලයක් විපක්ෂයේ රැඳී ඉන්න සිද්ද වුනා කියල," අමල් ජයසිංහ සඳහන් කළේය.
සංහිඳියාව
එමෙන්ම ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන බව පවසමින් සුළු ජාතීන්ට පණිවුඩයක් නිකුත් කිරීමට උත්සාහ දැරීම ජනපතිවරයාගේ විවේචනයට පළ කළ ප්‍රතිචාරයක් බව අමල් ජයසිංහගේ මතයයි.
"ඔහු දිගින් දිගටම කියා සිටියා, ඔහුගේ පාලන කාලයේ ඔහුගේ අතින් වෙච්ච වැරදි නිවැරදි කරගැනීමට, ඒ පාඩම් ඉගෙන ගැනීමට තමන් සූදානම්ය කියල. ඒක කියන ගමන් ඔහු කියා සිටියා සුළු ජාතීන්ටත්, සුළු ආගමික කොටස්වලටත් සහජ්වනයෙන් ජීවත්විය හැකි වාතාවරණයක් සැකසීමට ඔහු කැප වෙනවයි කියල."

තමන්ට නාම යෝජනා ලබා නොදෙන මෙන් ඇතැම් තානාපති කාර්යාල බලපෑම් කළ බවට කළ සඳහන ඉන්දියාව සහ බටහිර රටවල් වෙත එල්ල කෙරුණු විවේචනයක් ලෙසින් පෙනී යන බවත් ඒඑෆ්පී පුවත් සේවයේ කොළඹ ප්‍රධානියා පවසයි.
ජනපතිවරයා සෘජුව විවේචනයට ලක් නොකළ නමුත්, කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ සිය අගමැති අපේක්ෂකයා බව සියලු කථිකයෝ ප්‍රසිද්ධියේ නිවේදනය කළහ.
අගමැති ධුරය අපේක්ෂාවෙන් සිටින බව පැවසෙන විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වාත් එය අනුමත කිරීම කැපී පෙනෙන්නක්.
සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ නායකයන් සියලු දෙනාම මහින්ද රාජපක්ෂ සිය අගමැති පේක්ෂකයා ලෙසින් ප්‍රකාශයට පත් කිරීම, ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ විශේෂ ප්‍රකාශයට විරෝධය දැක්වූ තවත් අවස්ථාවක්.
කෙසේ නමුත් ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව විවිධ ස්ථානවලදී එල්ල කළ විවේචනවලට වඩා කිසියම් විශේෂ පණිවුඩයක් ලබාදීමට හිටපු ජනපතිවරයා අපොහොසත්වීමත් කැපී පෙනෙන්නක්.








