මැලේසියාවේ 'අතරමං වූ' ශ්‍රී ලාංකික සේවකයෝ

- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
දරාගත නොහැකි අධික උණුසුමෙන් තැවෙමින් මැලේසියාවේ ජොහාර්බාරු නගරයේ කම්හලක සේවය කිරීම අති දුෂ්කර හෙයින් හතළිහකට අධික ශ්‍රී ලාංකිකයන් කම්හලෙන් පලා ගොස් ඇති බව සේවකයෝ පවසති.
අනුරාධපුරයේ සහ හබරණ රැකියා ඒජන්සි දෙකක් විසින් 80 කට ආසන්න ශ්‍රී ලාංකික සේවකයන් පිරිසක් දැනට මාස පහකට පමණ එම කම්හලේ සේවයට පිටත් කළේ තමන්ට සම්පූර්ණයෙන්ම වෙනස් චිත්‍රයක් මවා පාමින් බවයි, කූලින් නගරයේ දැනට නීතිවිරෝධීව රැකියාවක නිරතව සිටින පැතුම් මධුශංක බීබීසී සංදේශයට කියා සිටියේ.
"අපිට කිවුවේ අපිට තියෙන්නේ ඒසී රූම්වලට වෙලා පොඩි කම්පියුටර් ගැජට් එකක් හදන්න කියලා. ඒත් මෙහෙ ආවම තියෙන්නේ අර සෙන්ටිග්‍රේඩ් අංශක 700 ට 800 ට උණු කරන අර ලෝදිය වගේම තමයි," ඔහු පැවසීය.
"කොල්ලන්ගේ ආපු අයගේ අත් කැපිලා, අත්වලට වැටිලා ඒවා. තුවාල වෙලා."
'පහර දීලා'
අතිරේක දීමනා සමඟ රුපියල් 80,000 කට ආසන්න වේතනයක් ලැබෙනු ඇතැයි රැකියා ඒජන්සිය සඳහන් කළ නමුත්, මැලේසියාවේදී උපරිම වශයෙන් තමන්ට උපයා ගැනීමට හැකිවූයේ රුපියල් 40,000 කට ආසන්න මුදලක් බවත් ඔහු පැවසීය.
සිය කම්හලේ සේවය සඳහා ශ්‍රී ලංකාවෙන් පැමිණි පළමු කණ්ඩායම තමන් බව පවසන පැතුම් මධුශංක, එවැනි දුෂ්කර රැකියාවක් කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව දැනුම්දී එම කණ්ඩායමේ සිටි 80 දෙනා අතරින් වැඩි පිරිස සේවය අත්හැර ගිය බවත් සඳහන් කළේය.
සේවය අත්හැර යළි ශ්‍රී ලංකාවට පිටත්ව ගිය සේවකයන් දෙදෙනකු අනුරාධපුරයේ මලීෂා රැකියා ඒජන්සියට ගොස් තමන් පිරිස මුහුණ දී සිටින තත්වය විස්තර කළ අවස්ථාවේ මැරවරයන් දමා ඔවුන්ට පහර දී තිබෙන බවත් පැතුම් මධුශංක පවසයි.
මෙම චෝදනා පිළිබඳව විමසා බැලීම පිණිස මලීෂා රැකියා ආයතනයේ හිමිකාරිය ඇමතූ අවස්ථාවේ එම සංක්‍රමණිකයන් පිරිස මතුකරන ප්‍රශ්න මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට යොමු කරන මෙන් පවසා ඇය දුරකථනය විසන්ධි කළාය.



























