20 වැනි සංශෝධනය සම්මත කරන්න - බන් කි මූන්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් සම්මත කර ගනු දැකීම සිය අපේක්ෂාව බව මහලේකම්වරයා පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉක්මනින් සම්මත කර ගනු දැකීම සිය අපේක්ෂාව බව මහලේකම්වරයා පවසයි.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට කටයුතු කරන මෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටි බව ජනාධිපති කාර්යාලය පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බන් කි මූන් එම ඉල්ලීම කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා සවස දුරකතනයෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අමතා කළ සාකච්ඡාවකදී.

20 වැනි සංශෝධනය සම්මත කර රටේ නව දේශපාලන සංස්කෘතියක් ඇතිකරීම පිණිස කැප වී ක්‍රියාකරන බවට එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහ ලේකම්වරයාට සඳහන් කොට තිබේ.

මහ මැතිවරණය 'ඉක්මනින්ම'

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම පිණිස ජනාධිපතිවරයා කළ කැපවීම අගය කළ බවත් ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපතිවරයාගෙන් ඉඟියක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපතිවරයාගෙන් ඉඟියක්

ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සාකච්ඡාවේදී ඉඟියක්ද පළ කොට තිබේ.

රට තුල නව රජයක් ස්ථාපිත කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීමට හැකියාව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කොට තිබේ.