මහ මැතිවරණය: 'මහින්ද අනිවාර්යයෙන්ම තරඟ කරනවා'

ඡායාරූප මූලාශ්‍රය, Getty
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබුනත්, නොලැබුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළැඹෙන මහ මැතිවරණයට අනිවාර්යයෙන්ම තරඟ කරන බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.
පක්ෂය දෙකඩ නොකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කිරීම තවමත් හිටපු ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවද රොහාන් වැලිවිට බීබීසී සංදේශයට පැවසීය.
එහෙත් එයට අවස්ථාව නොලැබෙන්නේ නම්, වෙනත් පක්ෂයකින් හෝ ඔහු තරඟ කරනු ඇති බව ඔහු අවධාරණය කළේය.
'වෙනත් පක්ෂයකින්'
"අනිවාර්යයෙන්ම එතුමා තීන්දු කරලා තියෙනව. එතුමා හදාගෙන ගිය රට නැවතිලා තියෙනව. ඒ නිසා එතුමා නැවත වරක් මේ රට ඉදිරියට ගෙනියන්න අනිවාර්යයෙන්ම මීළඟ මහ මැතිවරණයේදී තරඟ කරනවා," රොහාන් වැලිවිට කියා සිටියේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.
"මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් එතුමාගේ කාර්යභාරය ඉතුරු වෙලා තිබුණා. එතුමාට ඒ කාර්යභාරය අවසන් කරන්න කලිනුයි මේ මැතිවරණයක් ඇවිල්ල පරාජය වුනේ."
හිටපු ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ.
එසේ වුවහොත් තරඟ කරන්නේ කවර පක්ෂයෙන්ද යන්න තවමත් තීරණය කොට නැති බවත් රොහාන් වැලිවිට සඳහන් කළේය.

"එහෙම නොදුන්නොත් වෙනත් පක්ෂයකින්. මොකද එතුමා තීන්දු කරලා තියෙනව ඡන්දෙකට එනවා කියල. නාමයෝජනා ලබාදීමේ මූලික අයිතිය සහ වගකීම තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. එතුමා ඒක ලබානොදුන්නොත් මෙතුමා තීන්දුවක් ගනීවී ඡන්දයට එන්නේ මොන පක්ෂයෙඳ කියල."
කවර පක්ෂයකින් වුවත් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තරඟ කරන්නේ එම පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් බවද රොහාන් වැලිවිට පැවසීය.
පොදු පෙරමුණ වැනි සන්ධානයකින් තරඟ කිරීම පිළිබඳව මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවත් බීබීසී සංදේශයට වාර්තාවේ.








