ළමා සහ කාන්තා රැකවරණය ඉල්ලමින් උද්ඝෝෂණ

කළු පටි පැළඳ ගත් කණ්ඩායම් අද (01) උතුරු නැගෙනහිර පළාත් දෙකේ ස්ථාන කීපයක විරෝධතා ව්‍යාපාර පෙරට ගෙන යමින් සිටි බව වව්නියාව බීබීසී ප්‍රාදේශීය වාර්තාකරු දිනසේන රතුගමගේ පවසයි.
යුද්ධය නිම වීමෙන් අනතුරුව එම දෙ පලාතේ ජීවත් වෙන ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට එල්ල වෙමින් ඇති තර්ජන වැඩි වී ඇති බව පවසමිනුයි ඔවුන් එම විරෝධතා ව්‍යාපාර ගෙන යමින් සිටියේ.
ළමුන්ට සහ කාන්තාවන්ට සිදු කෙරෙන හිංසා සහ අතවර කිරීම් නතර කිරීමට පියවර ගන්නා මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටි විරෝධතාවාදීහු අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි හඬ නගමින් සිටියේ.
පසුගිය දා යාපනයේ ‘පුන්කුඩුතීව්’ ගමේ විද්‍යා සිවයෝගනාදන් දැරිය සහ වයස අවුරුදු හතක තවත් දැරියක් මෙන්ම ‘සංදිලිපායි’ ප්‍රදේශයේ දැරියන් දෙදෙනකු අතවර වලට ලක් කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුහු කරුණු කියා සිටියහ.
මේ අතර කිලිනොච්චියේ කාන්තාවක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් ද විරෝධතා වාදීහු හඬ නැගූහ.
ජනාධිපති ප්‍රතිඥාව අනුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ දී විද්‍යා සිවයෝගනාදන් දැරියගේ දෙමව්පියන්ට දුන් ප්‍රතිඥාව අනුව යමින් ළමා සහ කාන්තා දූෂකයන්ට දැඩි දඬුවම් දිය යුතු බවයි උද්ඝෝෂණ වලට සහභාගී වූ ජනතාව කියා සිටියේ.
මේ අතර එම දැරිය දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් කණ්ඩායම අද (01) කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එම සැකකරුවන්ගේ රුධිර සාම්පල රැගෙන ඒවා පරීක්ෂණ සඳහා යොමු කරන මෙන් කයිට්ස් අධිකරණය නියෝග කරන ලද බවයි වාර්තා වන්නේ.
එම අපරාධය මුල් කර ගනිමින් සිදු වූ මහජන නැගිටීමේ දී යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් එකසිය තිස් දෙ දෙනාගෙන්(132)හතලිස් නව දෙනකු(49) අද අධිකරණය ඉදිරියට පැමිණවීමට ද නියමිතව තිබුණි.








