'පරාජිතයන් බලයට එන්න ජාතිවාදය අවුස්සනවා'

දේශපාලන කටයුතු සඳහා වෙහෙර-විහාර යොදා ගනිමින් දූෂිත පුද්ගලයන් ආරක්ෂා කිරීමට උත්සාහ කරන බවට හිටපු මහින්ද රාජපක්ෂට චෝදනා කරමින් අනුරාධපුර නගරයේ විරෝධතාවක් පැවැත්විණි.

'මේ රටේ නිදහසෙන් පස්සේ බිහි වෙච්ච දුෂ්ටම පාලකයා මහින්ද රාජපක්ෂ මේ රටේ මිනිස්සු පරාජය කළා. නමුත් පරාජිතයන් නැවත වරක් ජාතිවාදය, වර්ගවාදය අවුස්සමින් බලයට එන්න උත්සාහ කරනවා' විරෝධතාවයට සහභාගී වූ වීදියේ විරෝධය කණ්ඩායමේ කලා ශිල්පී ජයතිලක බණ්ඩාර සංදේශයට පැවසීය.

‘වීදියේ විරෝධය’ සහ ‘අපි පුරවැසියෝ’ යන සිවිල් සංවිධානවල ප්‍රධානත්වයෙන් පැවති උද්ඝෝෂණයට දේශපාලනඥයන්, වෘත්තීය සමිති නායකයන්, කලාකරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාධරයින් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.

මහින්ද රාජපක්ෂ පාලනය රටේ ප්‍රධාන පක්ෂ බෙදා වෙන් කරමින් ''ඒකාධිපති පාලනයක්'' ගෙන ගිය බව පවසන ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර පසුගිය පාලන සමය තුළ මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරමින් ඝාතන සිදු වූ බවත් සඳහන් කළේය.

දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දිවි ඇති තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ කළ බව පවසන කලා ශිල්පී ජයතිලක බණ්ඩාර නැවතත් එවැනි පාලනයක් ඇති කර ගැනීම සඳහා වෙහෙර විහාර යොදා ගනිමින් ජනතාව මුලා කිරීමට ගන්නා ''කූට උත්සාහය'' පරාජය කළ යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.