ශ්‍රීලනිප පළාත් සභා මන්ත්‍රී 'ඉල්ලා අස්වෙයි'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබඳව කලකිරී අම්පාර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වන බව පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසකගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටවීමට පක්ෂ නායකත්වය ගත් තීන්දුවට විරෝධය පාමින් ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බවයි, අම්පාරේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය අවුරුදු නිවාඩුව අවසානයේ පක්ෂ නායකත්වයට භාරදෙන බවත් පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් මධ්‍යම කාරක සභා සාමාජිකත්වය අත්හිටුවීමේ තීන්දුව පිළිබඳව ජනාධිපතිවරයා යළි සලකා බැලීමට ඉඩ තිබෙන බවයි පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළේ.

ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය කිරීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය අත්‍යවශ්‍ය කාරණයක් බවත් පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක සඳහන් කළේය.