දෝෂාභියෝග නෑ: ජනපති ඉවත් කිරීම 'විශ්වාස භංගයකින්'

යෝජනාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, යෝජනාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකිය

කැබිනට් මණ්ඩලය ඉරිදා සවස් යාමයේ එකඟත්වය පළ කළ නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් විධායක ජනාධිපතිවරයකු ඉවත් කළ හැකි බව අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.

දෝෂාභියෝග ක්‍රියාදාමය අවලංගු කෙරෙන අතර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන විශ්වාස භංගයකින් ජනාධිපතිවරයා ඉවත් කළ හැකි බවද යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවය කළ විමසීමකදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයාය

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර, අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයාය

නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවත් එහි සඳහන්.

අමාත්‍ය ස්වාමිනාදන් බීබීසී යට ප්‍රකාශ කළ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා අතර:

  • රාජ්‍ය නායකයා, විධායකයේ නායකයා සහ සේනාධිනායකයා ජනාධිපතිවරයාය
  • අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ නායකයාය
  • ආරක්ෂක, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශ ජනාධිපතිවරයා යටතට පැවරේ
  • කේවල මැතිවරණ කොට්ඨාශ සහ සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයක්
  • ව්‍යවස්ථාදායක සභාවට අමතරව විශේෂ රාජ්‍ය මණ්ඩලයක් (Council of State)
  • අගමැතිවරයාට අමතරව අවශ්‍ය නම් අගමැතිවරයාගේ උපදෙස් පරිදි උප අගමැතිවරයෙක්
  • ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අහිමි වේ
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතරහමාරකට පසුව තුනෙන් දෙකේ බහුතර බලයකින් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කිරීමෙන් පමණි
  • කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමාවිය යුතුය
  • රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 කට සීමාවිය යුතුය