ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය

විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සීමා කරමින්, මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට යෝජනා කෙරෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විශේෂ කැබිනට් මණ්ඩලය අනුමැතිය පළ කළ බව යළි පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් පවසයි.
ඒ පිළිබඳ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා අදාළ සංශෝධනයට ඇතුලත්ව නැතැයි පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිසක් පළ කළ විරෝධයෙන් අනතුරුව ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පිණිස යළිත් ඉරිදා විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණි.
'හදිසි පනතක්'
රාජිත සේනාරත්න සහ චම්පික රණවක ඇමතිවරුන් බ්‍රහස්පතින්දා එම විරෝධය පළ කළ බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.

නව සංශෝධනයට අනුකූලව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වන අතර, අගමැතිවරයා පත්කිරීම සහ ව්‍යවස්ථාවෙන් බලය ලබා දෙන අනෙක් කරුණුවලදී හැර ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් ප්‍රකාර බවද අමාත්‍ය ඩීඑම් ස්වාමිනාදන් සඳහන් කළේය.
ඉරිදා රැස්වීමේදී ගත් තීන්දු පිළිබඳව විමසීම පිණිස කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
ව්‍යවස්ථා සංශෝධනය හදිසි පනතක් ලෙසින් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීන්දුවට විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා දැඩි විරෝධය පළ කළ අතර, එම විරෝධය තමන්ද අනුමත කරන බවයි <link type="page"><caption> ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන</caption><url href="http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/03/150311_president_coup_attempt" platform="highweb"/></link> ලන්ඩනයේ දී බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.
එමෙන්ම ව්‍යවස්ථාවට සහ මැතිවරණ ක්‍රමයට එකවර සංශෝධන ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මීළඟ මැතිවරණය පැවැත්විය යුත්තේ එම සංශෝධන සම්මත කරගැනීමෙන් අනතුරුව බව අවධාරණය කරයි.
එවැනි වාද විවාද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ලක්ෂණ බව සඳහන් කළ ජනාධිපතිවරයා, සාකච්ඡා මාර්ගයෙන් එවැනි මතභේද විසඳා ගත හැකි බවද සංදේශයට පැවසීය.








