නෝ ෆයර් සෝන් ලංකාවේ පෙන්වන්න - මැක්රේ

ඡායාරූප මූලාශ්‍රය, No Fire Zone
‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත ශ්‍රී ලංකාවේ විකාශය කිරීම අවහිර නොකරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ බරපතළ යුද අපරාධ සිදු වූ බවට චෝදනා කෙරෙන 'නෝ ෆයර් සෝන්' වාර්තා චිත්‍රපටය සිංහල උප සිරැසි සහ හඬ කැවීම් සහිතව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී පළමු වරට අඟහරුවාදා ප්‍රදර්ශනය කෙරුණි.
‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත විකාශනය කරන මෙන් එහි නිෂ්පාදක කැලම් මැක්රේ ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතනවලින් ඉල්ලීමක් කළේය.
සිය වාර්තා චිත්‍රපටය හරහා දර්ශනය කළ සාක්ෂි හෝ සත්‍ය කරුණු කිසිවක් ශ්‍රී ලංකාවේ සිංහල ජනතාවට දැනගැනීමට ලැබී නැති බවයි ඔහු කියා සිටියේ.
‘ශ්‍රී ලංකාව තුළ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙලා තියන එක කාරණයක් තමයි බහුතරයක් ජනතාවට, විශේෂයෙන්ම සිංහල ප්‍රජාවට සත්‍ය දැන ගන්න ලැබී නැහැ’ කැලම් මැක්රේ සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
බහුතර සිංහල ජනතාවට සාමය සහ සත්‍ය සොයා ගැනීමට අවශ්‍ය බව තම විශ්වාසය යැයි පවසන ඔහු වැරදිකරුවන් හැර වෙන කිසිවෙක් සත්‍යයට බිය විය යුතු නැති බවත් සඳහන් කළේය.
වරදකරුවන් විසින් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටය දැක බලා ගැනීම් වළක්වා ඇති නමුත් අලුතින් පත් වූ ආණ්ඩුව රටේ පැවති තත්වය වෙනස් කරන බවට ප්‍රතිඥා දී ඇති හෙයින් සෑම අයකුටම වාර්තා චිත්‍රපටය දැක ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.
‘ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූ අපරාධ යුක්ති සහගත කිරීම සඳහා දෙමළ කොටි සංවිධානය සිදු කළ අපරාධ වලට මුවා වෙලා ඔවුන් සැඟ වෙන්න උත්සාහ කරනවා’ යනුවෙන් ඔහු පැවසුවේය.
දෙමළ කොටි සංවිධානය විසින් සිදු කරනු ලැබූ අපරාධ කිසි ලෙසකින් හෝ යුක්ති සහගත කිරීමට තමන් උත්සාහ නොකරන බවත් ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදක කැලම් මැක්රේ පැවසුවේය.

ඡායාරූප මූලාශ්‍රය, No Fire Zone
‘ඔවුන් ත්‍රස්ත උපක්‍රම භාවිතා කළා. සාමාන්‍ය වැසියන් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළා’ ඔහු සඳහන් කළේය.
බහුතරයක් වූ සිංහල ජනතාවටත් දෙමළ ජනතාවටත් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ නිදහසේ ජීවත් වීමට අවශ්‍යව ඇති බව කියා සිටි ඔහු පසුගිය තිස් වසරේ පැවති භයානක තත්වයෙන් ගැලවී සිටින්නට නම් ප්‍රථමයෙන් සත්‍ය සොයා ගත යුතු බව පැවසුවේය.
‘පළමු පියවර, අවංකව ඉදිරියට ආ යුතුයි. මම විශ්වාස කරනවා මේ වාර්තා චිත්‍රපටිය ඊට ආධාර වෙයි කියලා. සිංහල ප්‍රජාව වින්ද මානසික කම්පනය මට සම්පුර්නයෙන්ම වටහා ගන්න පුළුවන්. ඒ වගේම දෙමළ ජනතාව වින්ද දරුණු මානසික කම්පනයත් මට වටහා ගන්න පුළුවන්. වරදකරුවන්ට හැර වෙන කිසිවෙකුටත් අපේ වාර්තා චිත්‍රපටයෙන් පහර ගැසීමක් කෙරෙන්නේ නැහැ’ යනුවෙන් කැලම් මැක්රේ වැඩිදුරටත් කියා සිටියේය.








