සාම්පූර් අනාථයෝ රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වෙති

නීති විරෝධී ලෙස තනා ගත් තාවකාලික නිවසේ සිල්ලර කඩයක් පවත්වාගෙන යන නගේශ්වරන් පාඛ්‍යවතී
ඡායාරූප ශීර්ෂ වැකිය, නීති විරෝධී ලෙස තනා ගත් තාවකාලික නිවසේ සිල්ලර කඩයක් පවත්වාගෙන යන නගේශ්වරන් පාඛ්‍යවතී

සිය පාරම්පරික ඉඩම් නැවත ලබා දෙන මෙන් ඉල්ලා සිටින සාම්පූර් අනාථයෝ රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වෙමින් සිටිති.

යුද්ධය අවසන් වී වසර හයකට ආසන්න කාලයක් ගත වී ඇති නමුත් සාම්පූර් නැගෙනහිර සහ බටහිර ග්‍රාම සේවා වසම්වල පදිංචිව සිටි පවුල් අටසිය විසිපහක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙන බව ආර්ජී ධර්මදාස සංදේශයට පැවසුවේය.

එම වැසියන්ට අයත්ව තිබූ වාසභූමි සහ වගා බිම් මේ වන විට වෙන් වී ඇත්තේ නාවික හමුදා කඳවුරු, ගල් අඟුරු බලාගාරය සහ කර්මාන්ත කලාපයකටයි.

සාම්පූර් වැසියන්ගේ පාරම්පරික ඉඩම් වෙනුවට වෙනත් විකල්ප ඉඩම් ලබා දෙන බව පැවති රජය පවසා තිබූ අතර ඊට එකඟ නොවූ යුද අනාථයෝ සිය මුල් ඉඩම් ලබා දෙන මෙන් ඉල්ලා අධිකරණයේ නඩු පැවරූහ.

සාම්පූර්හි පවුල් අටසිය විසිපහක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙති
ඡායාරූප ශීර්ෂ වැකිය, සාම්පූර්හි පවුල් අටසිය විසිපහක් තවමත් අනාථ කඳවුරුවල වෙසෙති

සාම්පූර් කඳවුරුවල රැඳී සිටි පවුල් විසි දෙකක් නව රජය බලයට පත් වීමෙන් පසු නාවික හමුදා කඳවුර සහ කාලි කෝවිල අතර ඇති කැලෑ බිම් තීරය හෙළි පෙහෙළි කර තනා ගත් තාවකාලික නිවාසවල පදිංචි වී ඇති බවයි ආර්ජී ධර්මදාස සංදේශයට කියා සිටියේ.

වසර නවයක් පුරා ආණ්ඩුවට බැගෑපත් වී විසඳුමක් නොමැති හෙයින් තමා මුලින් පදිංචි වී සිටි නිවස අසල ඉඩමක තාවකාලික නිවසක් තනා ගත් බව නගේශ්වරන් පාඛ්‍යවතී සඳහන් කළාය.

කර්මාන්ත කලාපයකට වෙන් කර ඇති සාම්පූර් ප්‍රදේශයේ ඉඩමක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කර්මාන්ත කලාපයකට වෙන් කර ඇති සාම්පූර් ප්‍රදේශයේ ඉඩමක්

සැමියා විසින් අතහැර දමනු ලැබූ මවක් වන රාසමාන්කික්කම් රවුෆිකා සාම්පූර්හි ඉඩමක නීති විරෝධී ලෙස පදිංචි වී සිටින්නේ සිය දරුවන් තිදෙනා සහ මහලු මව්පියන් සමගයි.

රජයේ ඉඩමක බලහත්කාරයෙන් පදිංචි වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලින් හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් මේ දක්වා විරෝධයක් එල්ල වී නොමැති බවයි ඇය පවසන්නේ.

මේ අතර යුද ගැටුම් හේතුවෙන් කඳවුරුවල රැඳී සිටි මුත්තූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම සේවා වසම් හතළිස් දෙකෙන් ග්‍රාම සේවා වසම් හතළිහකට අයත් වැසියන් ඔවුන්ගේ පාරම්පරික වාසස්ථානවල හෝ වෙනත් විකල්ප ඉඩම්වල පදිංචි කර අවසන්.