යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමට ‘මාස කිහිපයක්’

'සාකච්ඡා මිත්‍රශීලීව පැවැත්වුනා.'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'සාකච්ඡා මිත්‍රශීලීව පැවැත්වුනා.'

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදනවලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපා සංගමයේ බලධාරීන් ඒ බව දැනුම් දී තිබෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර හමු වූ අවස්ථාවේ දී.

සමරවීර ඇමතිවරයා පරිසර, සමුද්‍ර සහ සහ ධීවර කටයුතු පිළිබඳ යුරෝපා සංගමයේ කොමසාරිස් කාර්මෙනු වෙලා සමඟ ද සාකච්ජා පැවැත්වූ බව ඔහුගේ ප්‍රකාශක එන්රිකෝ බ්‍රිවියෝ බීබීසී සංදේශයට පැවසීය.

මත්ස්‍ය අපනයන තහනම ඉවත් කර ගැනීමේ අටියෙන් ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග යුරෝපා සංගමයේ පැසසුමට ලක් වූ බව ද ඔහු පැවසීය.

දූත පිරිසක්

"ශ්‍රී ලංකාව නීති විරෝධී ලෙස මසුන් මරනවා නම් ඒක පාලනය කරන්න යුරෝපා සංගමයට හැකියාවක් නැහැ," යනුවෙන් යුරෝපා ඇමතිවරයාගේ ප්‍රකාශකයා කියා සිටියේය.

'ඉදිරි මාස කිහිපය තුළ සාධනීය තීන්දුවක් ගැනීමට ඉඩ තිබෙනවා'

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඉදිරි මාස කිහිපය තුළ සාධනීය තීන්දුවක් ගැනීමට ඉඩ තිබෙනවා'

"නමුත් නව රජය දී තිබෙන පොරොන්දු කොමසාරිස්වරයා සැලකිල්ලට ගෙන තිබෙනවා."

හොඳ හිත වර්ධනය කිරීමේ අරමුණෙන් යුරෝපා සංගමය තහනම අත්හිටුවනු ඇතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ නම් ඒ වෙනුවට බ්‍රසල්ස් නුවරින් ලැබී තිබෙන්නේ බලාපොරොත්තු සුන් වූ ආකාරයේ පිළිතුරක් බවයි පෙනී යන්නේ.

නීති විරෝධී මසුන් ඇල්ලීම නවතා දැමීමට ශ්‍රී ලංකාව ක්‍රියාකරන තුරු තහනම ඉවත් නොකෙරුණු ඇති බවද එන්රිකෝ බ්‍රිවියෝ සංදේශයට පැවසීය.

තත්වය නිරීක්ෂණය කිරීම් වස් දූත පිරිසක් ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.