ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනයට තහනමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කරන ලෙස යුරෝපා කොමිසම යෝජනා කර තිබේ.
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම යෝජනාව ප්‍රකාශයට පත් විය.
නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතු වලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු කොමිසම් ඇගයුම් වාර්තාවේ සඳහන්.
දෙදහස් පහළොව වසරේ ජනවාරි මාසයේ මැද වන විට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
බේලිස්, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළේය.
සිහි කැඳවීමක්
නමුත් ශ්‍රී ලංකාව හැර පෙර සඳහන් කළ රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ.
‘නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පැවසුවාය.
විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් අවම කිරීමට අවශ්‍ය පියවර සම්බන්ධයෙන් පුරා වසර හතරක් යුරෝපා කොමිසම හා ශ්‍රී ලංකාව අතර උණුසුම් මට්ටමේ සංවාදයක් පැවතුණි.








