කුඩගම්මන ‘කටවුට්’ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ ප්‍රචාරක පුවරුවක් (‘කටවුට්’) තම ඉඩමේ සවි කිරීමට අවසර නො දුන් පුද්ගලයකුගේ ඥාතීන්ට පහර දී ඔහුගේ දේපොළ ආදියට හානි කිරීමේ සිද්ධියක් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය වාර්තා කරයි.

එම හිංසනයට ගොදුරු වී සිටින්නේ දිවුලපිටියේ කුඩගම්මන වැසියකු වන තුසිත වීරසිංහ නමැත්තෙකි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආධාර දෙන කණ්ඩායමක් පසුගිය නොවැම්බර් 29 වෙනි දින තුසිත වීරසිංහගේ ගෙවත්තේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ ගේ විශාල රුවක් සහිත ප්‍රචාරක පුවරුවක් ඇටවීමට උත්සාහ කර ඇති අතර ඊට නිවසේ අයිතිකරුවන්ගෙන් ඉඩ නො ලැබීම මුල් කර ගෙනයි ප්‍රහාරය සිදු ව තිබෙන්නේ.

සිය ගෙවත්තේ ප්‍රචාරක පුවරුව සවි කිරීමට අවසර නොදීමෙන් අනතුරුව දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ එහි තවත් සභිකයන් දෙදෙනෙක් ඇතුළු පහළොස් දෙනකු පමණ කණ්ඩායමක් එහි පැමිණ ඉඩමට ඇතුල් වී තම ඥාති සහෝදරයන් දෙදෙනකුට පහර දුන් බවයි තුසිත වීරසිංහ කියා සිටින්නේ.

‘මගේ ඉඩමට අනවසරයෙන් ඇතුල් වූ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයාගේ ‘කටවුට්’එකක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එහි ඇටවීමට උත්සාහ කළා. මම ඒකට දැඩි විරෝධය පළ කළා. ඒත් ඒ කණ්ඩායම විදුලි පහන් කණුවක ප්‍රචාරක පුවරුව සවි කරලා ගියා’ තුසිත වීරසිංහ පවසයි.

වැඩි දුරටත් සිද්ධිය විස්තර කරමින් ඔහු කියා සිටියේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් අනතුරුව තම නිවසට ලඟා වූ බවයි.

‘ආණ්ඩුව අපේ’

‘සභාපතිවරයා මගේ ඉඩමට ඇවිත් ඔවුන්ගේ කාර්යයේ නිම නොවූ ඉතිරි වැඩ සම්පූර්ණ කර ගැනීම සඳහා මට නිවසින් එලියට පැමිණෙන මෙන් දැනුම් දී තිබෙනවා. තමන්ගේ ආණ්ඩුවක් බලයේ පවතින නිසා ඔවුන්ට ඕනෑම තැනක ‘කටවුට්’ සවි කරන්න පුළුවන් බව එම කණ්ඩායම කිව්වා. ඔවුන් දරුණු වචන පාවිච්චි කරමින් සිටි නිසා මම බියට පත් වුනා’ තුසිත වීරසිංහ පවසයි.

එම අවස්ථාවේ බියට පත් තමා නිවස ඇතුළේ ම රැඳී සිටි අතර ගෙයින් පිටතට පැමිණි සිය ඥාති සහෝදරයන් දෙදෙනකුට ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම පහර දුන් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

පහර දීමට ගොදුරුවූවන් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර අනතුරුව ඔවුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති බවයි CaFFE සංවිධානය පවසන්නේ.

මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කරනු ලැබීම් නවයක් මේ වන විට වාර්තා වී ඇති බවත් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන (CaFFE) ආයතනය සඳහන් කරයි.