නායයාමේ අනතුර ගැන දැනුවත් කළේ නැහැ - සමාගම

රොෂාන් රාජදුරේ

ඡායාරූප මූලාශ්‍රය, paofceylon.org

ඡායාරූප ශීර්ෂ වැකිය, රොෂාන් රාජදුරේ

කොස්ලන්ද මීරියබැද්ද වත්ත ප්‍රදේශයේ නායයාමේ අනතුරක් පවතින බව එම ප්‍රදේශය භාර වතු සමාගමට නිසි දැනුම් දීමක් සිදු කර නැතැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරේ ප්‍රකාශ කරයි.

මෙවන් අනතුරුදායක ස්ථානවල ජනතාවට විකල්ප ඉඩම් ලබාදීමට වැවිලි සමාගම් සැමවිටම ඉදිරිපත් වී ඇති බව ඔහු කියා සිටියේ, බීබීසී දෙමළ සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්.

"ඔවුන් කියනවා අදාළ සමාගම දැනුවත් කළා කියලා. නමුත් අදාළ සමාගමට දැනුම් දීලා නැහැ මෙම ස්ථානයේ නාය යාමේ තර්ජනයක් තියෙනවා කියලා. එහෙම නිසි දැනුම් දීමක් කළා නම් අපි හැම වෙලාවකම විකල්ප ඉඩම් ලබා දෙනවා. එහෙම ලබා දීලා තියෙනවා,” යනුවෙන් ඔහු පැවසීය.

වතු කම්කරුවන්ට නිවාස ?

එසේ වතු කම්කරුවන්ට ලබාදෙන විකල්ප ඉඩම්වල නිවාස ඉදි කරන්නේ කවුරුන්ද යන්න බීබීසී ය ඔහුට යොමු කළ ප්‍රශ්නයක්.

"නිවාස ඉදිකරන්න රජය හා අනිකුත් ආයතන අපිට උදව් කරන්න ඕනේ. මොකද දැන් පුද්ගලිකකරණයත් සමග නිවාස ගැන වගකීම රජය සතුයි. අපිට යම් වගකීමක් තිබෙනවා ඒ ගැන බලන්න, නමුත් අපිට හැකියාවක් නැහැ ඔවුන්ට නිවාස ඉදිකරන්න.” යන්න ඒ ප්‍රශ්නයට ඔහුගේ පිළිතුරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

"රජයට මේ නිවාස ප්‍රශ්නය වතු සමාගම් මත පවරන්න බැහැ. මොකද අවුරුදු සියකට කලින් ඔවුන් මෙහි ආපු වෙලාවේ ඔවුන් ශ්‍රමය බැඳ තබා ගත් සේවකයන්. නමුත් දැන් ඔවුන් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇති සේවකයන්.”

අනතුරුදායක ස්ථානවලින් ජනතාව ඉවත් කිරීමට වතු සමාගම් විකල්ප ඉඩම් ලබා දුන්නත් ඔවුන් බොහෝ විට එම ස්ථානවලට යාමට ප්‍රතික්ෂේප කරන බවත් රොෂාන් රාජදුරේ පවසයි.

"අපිට මේකට නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. නැත්නම් හැමදාම ඉඩම් නැහැ වගේ කතාවල් කියාගෙන ඔවුන් එතන ඉඳීවි. සමාගම්වලට බලහත්කාරයෙන් ඔවුන් ඉවත් කරන්න බැහැ. ඒක නීති විරෝධීයි.”

වතුකරයේ මෙවන් ගැටළුවක් මතු වූ විට සාමාන්‍යයෙන් පැන නැගෙන දේශපාලන සහ වතු සමිතිවල බලපෑම් හේතුවෙන් එවන් ඉල්ලීම් ලැබුණු විටම ක්‍රියාත්මක වී විකල්ප ඉඩම් ලබාදීමට සමාගම් කටයුතු කරන බව පැවසූ රොෂාන් රාජදුරේ, නායයාම් වැනි ස්වභාවික විපතකට සමාගම්වලට වගකිව නොහැකි බව වැඩිදුරටත් සඳහන් කළේය.