අවතැන්වුවන්ට සහන සැලසීමේ දුෂ්කරතා

ඡායාරූප මූලාශ්‍රය, AFP

අවතැන් කඳවුරු වලින් සහන සැලසෙන නිසා විවිධ හේතු කියමින් වැල නොකැඩී පැමිණෙන පුද්ගලයන් නිසා කොස්ලන්ද නාය යාමෙන් අනාථ වූවන්ට පුද්ගලයන්ට සහන සැලසීමේ දී විශාල ගැටලු මතු වී ඇති බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසයි.

මේ වන විට කොස්ලන්ද ශ්‍රී ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 164කට අයත් ළමුන් සහ කාන්තාවන් ඇතුළු 574 දෙනකු ද, පූනාගල මහා විද්‍යාලයේ අවතැන් කඳවුරේ පවුල් 94කට අයත් 315 දෙනකු ද රඳවා ඇති බව කොස්ලන්ද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල ප්‍රකාශ කරයි.

වෛද්‍ය එරංග අසේල පැවසුවේ පස් වලට යට වූවන් සෙවීමේ කටයුතු අද බ්‍රහස්පතින්දා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහයෙන් සිදු වූවත් තවත් මළසිරුරු හමු නොවූ බවයි.

නාය යෑමට පෙර එම නිවාස වලින් පාසල් යෑමට පිටත් වූ දරුවන්ට අමතරව අද බ්‍රහස්පතින්දා දහවල් එකොළහ පමණ වන විට කොස්ලන්ද ශ්‍රී ගනේෂ් දෙමළ මහා විද්‍යාලයේ පමණක් මව්වරුන් සමග සිටි අතදරුවන්ගේ සංඛ්‍යාව හතළිස් පහක් බවයි සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර පවසන්නේ.

අධික කම්පන තත්ත්වය

දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල කියා සිටියේ නිවාස, මව්පියන් සහ ඥාතීන් අහිමි දරුවන් ඇතුළු බොහෝ දෙනෙක් අධික කම්පනයකින් පසු වන බවයි.

ඡායාරූප මූලාශ්‍රය, AFP

පාන්දරින් පාසල් පැමිණි සමහර ළමයින්ගේ මව්පියන් අවතැන් වූවන් රඳවා සිටින කඳවුරක සිටින බවට තොරතුරු ඇති හෙයින් ඒ අය සොයා දීමේ වැඩපිළිවෙළක් සකසන බවත් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එරංග අසේල පැවසීය.

සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර සඳහන් කළේ නාය යාම බැලීමට පැමිණෙන පිරිස් නිසා අවතැන් වූවන්ට සහන සැලසීමේ දී බාධා මතුව ඇති බවයි.

සමහර පුද්ගලයන් විසින් නාය ගිය ගම අවට පිහිටි ගම්වල බියෙන් සහ කම්පනයෙන් පසු වන වැසියන් බිය ගැන්වීමේ සිද්ධීන්ද වාර්තා වන බවයි සහකාර අධ්‍යක්ෂවරයාපවසන්නේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ අද බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොස්ලන්දට පැමිණ විපතට පත් වූවන්ට කඩිනමින් සියලු සහන සලසන ලෙස නිලධාරීන්ට උපදෙස් දි තිබුණ අතර අයහපත් කාලගුණය ඇතුළු බාධක රැසක් මැද විපතට පත් වූවන්ට සහන සැලසීමට නිලධාරීහු යුහුසුලුව ක්‍රියා කරමින් සිටිති.