ස්ත්‍රී පුරුෂ සම අයිතීන් පරතරය 'වැඩිවෙලා'

ඡායාරූප මූලාශ්‍රය, weforum.org
කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය වැඩි වෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක් වී ඇති බව ලෝක ආර්ථික සංසදය පවසයි.
සමස්තයක් ලෙස දෙදහස් පහ වසරේ සිට සමාන අවස්ථා හිමි වීමේ පරතරය වැඩි වෙමින් පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව ඇතුළු මාලි, ක්‍රොයේෂියාව, මැසිඩෝනියාව, ජෝර්දානය සහ ටියුනීසියාව යන රාජ්‍යයන් එක් වී ඇති බවයි, ලෝක ආර්ථික සංසද පර්යේෂණ වාර්තාවක සඳහන් වෙන්නේ.
ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන සහ දේශපාලන යන ක්ෂේත්‍ර මුල් කර ගනිමින් රටවල් එකසිය හතළිස් දෙකක කළ පර්යේෂණයකින් අනතුරුව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කොට තිබේ.
ඉහත කී රටවල් හැර බොහෝ රටවල සමාන අවස්ථා හිමි වීමේ පරතරයේ 'සුවිශේෂී වෙනසක්' දැකිය හැකි බව ස්ථීර ලෙස පෙන්වා දෙන වාර්ෂික පර්යේෂණ වාර්තාව, දෙදහස් පහ වසරේ සිට රටවල් එකසිය පහක සමාන අවස්ථා හිමි වීමේ විශාල වර්ධනයක් පෙන්නුම් කරන බවත් සඳහන් කරයි.
සමාන අවස්ථා හිමි වීමේ ලැයිස්තුව තුල අයිස්ලන්තය පළමු ස්ථානයේ පසු වන අතර පහළින්ම සිටින්නේ යේමනයයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනය

ඡායාරූප මූලාශ්‍රය, AFP
දේශපාලන ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුව තුල ශ්‍රී ලාංකීය කාන්තා නියෝජනය ඉතා අඩු බව පවසන වාර්තාව, පාර්ලිමේන්තුව තුළ එය පුරුෂයන් අනූහතර දෙනකුට කාන්තාවන් හයක අනුපාතයක් බව පෙන්වා දෙයි.
ආර්ථික දායකත්වය තුළ කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන අවස්ථා අතර පරතරය දැක්වෙන අංශයේ ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ එකසිය නව වන ස්ථානයයි.
කෙසේ නමුත් ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනය ලබා ගැනීම තුළ ශ්‍රී ලාංකික කාන්තාවෝ පුරුෂයින් අභිබවා ඉදිරියෙන් සිටිති.
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව සමස්තයක් ලෙස පුරුෂයන්ට වඩා වැඩි අගයක් ගන්නා බවත් වාර්තාවේ සඳහන්.
රටවල් එකසිය හතළිස් දෙකක කාන්තාවන්ට සහ පුරුෂයින්ට හිමි වන සමාන අවස්ථා අතර පරතරය දැක්වෙන ලැයිස්තුවේ ඉන්දියාව එකසිය දාහතර වන ස්ථානයේ පසු වන අතර පාකිස්තානට හිමි වී තිබෙන්නේ එකසිය හතළිස් එක් වන ස්ථානයයි.








