වද දීම්: 'බලධාරීන් සාකච්ඡාවකටවත් සුදානම් නැහැ'

බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් අමතමින්
ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවක් අමතමින්

වද හිංසා සිදු කරන බවට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට එල්ල වන චෝදනා පිළිබඳව සාකච්ඡා කිරීමටවත් විවෘත මනසක් නැති බවට මානව හිමිකම් ක්‍රියාධරයෝ ආරක්ෂක අමාත්‍යංශයට චෝදනා කරති.

රයිට් ටු ලයිෆ් සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු මේ බව කියා සිටියේ ආසියා ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සහ මානව හිමිකම් නංවාලීමේ ජාත්‍යන්තර සමුළුවෙන් තමන් ඇතුළු ශ්‍රී ලාංකික නියෝජිතයන් පිරිස ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය බලපෑම් කර ඇති බව පවසමින්.

වර්ජනය

ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් සහභාගි වන්නේ නම් බැංකොක් නුවර දී හෙට ආරම්භ වන මෙම සමුළුව වර්ජනය කරන බව දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය සමුළුවේ අධ්‍යක්ෂවරයාට ලිපියක් යවා ඇති බව බ්‍රිටෝ ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේය.

රයිට් ටු ලයිෆ් එල්ල කරන චෝදනා පිළිබඳව ප්‍රතිචාර ලබා ගැනීම සඳහා හමුදා ප්‍රකාශකවරයා ඇමතීමට බීබීසීය ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.

ආසියා ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සහ මානව හිමිකම් නංවාලීමේ ජාත්‍යන්තර සමුළුව සංවිධානය කරනු ලැබ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය විසිනි.

එය බැංකොක් නුවරදී හෙට (සඳුදා) ආරම්භ වීමට නියමිතයි.

සිඩ්නි සරසවිය කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ද සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ ස්වේච්ඡා සංවිධාන වලින් ලබා ගත් තොරතුරු සහ සාක්ෂි මත කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඉහත කී සමුළුවේ දී සාකච්ඡාවට භාජනය වීමට නියමිතයි.

එම සමුළුවෙන් ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක් ඉවත් කිරීමට විරෝධය පා තවත් ස්වේච්ඡා සංවිධාන කිහිපයක් සමුළුව වර්ජනය කරන බව රයිට් ටු ලයිෆ් සංවිධානයේ බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සමුළුව වර්ජනය කළහොත් සමුළුවේ අරමුණ ඉටු නොවන හෙයින් ඔවුන් නම් කළ ස්වේච්ඡා සංවිධාන සමුළුවෙන් ඉවත් කිරීමට අකමැත්තෙන් වුවද තීරණය කර ඇති බව දන්වමින් සිඩ්නි සරසවියෙන් තමාට ලිපියක් ඒවා ඇති බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු පවසන්නේ.