'සිනමා උළෙල මාධ්‍යයට වැදගත් නොවීම කනගාටුවක්'

'උතුරා යන තරමට සෙනඟ ඉන්නවා' -අශෝක හඳගම

ඡායාරූප මූලාශ්‍රය, IFF Colombo2014

ඡායාරූප ශීර්ෂ වැකිය, 'උතුරා යන තරමට සෙනඟ ඉන්නවා' -අශෝක හඳගම

ශ්‍රී ලංකාවේ පවත්වන්නට යෙදුණු ජාත්‍යන්තර සිනමා උළෙල ශ්‍රී ලංකාවේ මාධ්‍යයට ප්‍රවෘත්තියක් නොවීම කනගාටුවට කරුණක් බව ප්‍රවීණ සිනමා අධ්‍යක්‍ෂ අශෝක හඳගම පවසයි.

කිසිදු අය කිරීමකින් තොරව පැවැත්වෙන මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ‘පළමු වැනි අංග සම්පුර්ණ ජාත්‍යන්තර සිනමා උළෙල’ බවයි අශෝක හඳගම කියා සිටියේ.

‘අපේ සිනමාවේ ඓතිහාසික වැදගත්කමක් තියෙන විශේෂ මොහොතක් මේක. අපි හිතුවටත් වඩා සාර්ථකව කොළඹ නගරයේ පැවැත්වෙනවා. සිනමා ශාලා පහක පැවැත්වෙන දර්ශනවලට උතුරා යන තරමට සෙනඟ ඉන්නවා. ඒක මම හිතන්නේ අපේ සිනමාවේ වැදගත් ප්‍රවෘත්තියක් කියල. ඒක ලංකාවේ සිනමා පිටුවලට වැදගත් ප්‍රවෘත්තියක් නොවීම කනගාටු දායක තත්වයක්.’ සම්මානලාභි සිනමාකරු අශෝක හඳගම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ බීබීසීයේ සරෝජ් පතිරණ සමඟ කළ සාකච්ඡාවක දී.

ලාංකික සිනමා ලෝලීන්ට මෙම සිනමා උළෙල පිළිබඳ පණිවිඩය ගෙන යාමට බොහෝ දුරට උපකාරී වූයේ අන්තර්ජාලය බව අශෝක හඳගම ප්‍රකාශ කළේය.

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ අවසන් දිනය වන අද (07) ජාත්‍යන්තර ඇගයීමට පත් සිංහල සිනමා නිර්මාණ කිහිපයක් ද ප්‍රදර්ශනය කෙරේ.

විසාකේස චන්ද්‍රසේරම්ගේ අධ්‍යක්‍ෂනයක් වන 'ෆ‍්‍රැන්ගි පානි' හෙවත් සියපෙති කුසුම, උදාර අබේසුන්දරගේ සෙවණැලි සහ ප‍්‍රසන්න ජයකොඩි අධ්‍යක්‍ෂණය කළ 'ශ්‍රී 28' එම චිත‍්‍රපට අතර වෙයි.