රමපෝසාගේ ශ්‍රී ලංකා සාකච්ඡා 'රහසිගතයි'

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේදී සාකච්ඡා වූ කරුණු රහසිගත බැවින් ඒ පිළිබඳ විස්තර හෙළි කළ නොහැකි බව ඔහුගේ ප්‍රකාශකයා පවසයි.
"ඒ සාකච්ඡා රහසිගතයි. ඒත් අපේ කාර්යභාරය තමයි, සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ සහ ව්‍යවස්ථා සම්පාදක කාර්යභාරය පිළිබඳ අපේ අත්දැකීම් බෙදා ගැනීම," යනුවෙන්ද උප ජනාධිපති රමපෝසාගේ ප්‍රකාශක රොනී මමයෙපා බීබීසී සංදේශයට කියා සිටියේය.
ඉහත කී කරුණු සම්බන්ධ සිය අත්දැකීම් තමන් සමඟ බෙදා ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය විසින් කරන ලද ඉල්ලීම්වලින් අනතුරුව සිරිල් රමපෝසා ශ්‍රී ලංකාව සම්බන්ධ තමන්ගේ විශේෂ නියෝජිතයා ලෙසින් ජනාධිපති ජේකබ් සූමා විසින් පත් කරනු ලැබූ බව සිහිපත් කරන ප්‍රකාශකයා, උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලැබුවේ එම පත්කිරීමට අදාලව බවද සඳහන් කළේය.
කෙසේ නමුත් සිරිල් රමපෝසාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බවයි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා සංදේශය කළ විමසීමකදී අවධාරණය කළේ.
ජාතික ගැටලුව
සඳුදා සහ අඟහරුවාදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ දකිනු අප්‍රිකානු විශේෂ නියෝජිතයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, විරුද්ධ පක්ෂ නියෝජිතයන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු කණ්ඩායම් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ඔහු යාපනයේ සංචාරයකද නිරත විය.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළ නමුත්, ජාතික ගැටලුවට විසඳුමක් සාකච්ඡා කෙරුනේ දැයි සංදේශයේ සරෝජ් පතිරණ විමසූ අවස්ථාවේ රොනී මමයෙපා කියා සිටියේ, උප ජනාධිපතිවරයාට බලය ලැබී තිබෙන්නේ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට පමණක් බවයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට දෙමළ ජාතික සන්ධානය එකඟත්වය පළ කළේ දැයි මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ඔහු: "මේ අවස්ථාවේ අපේ කාර්යභාරය මැදිහත්වීම හෝ පහසුකම් සැපයීම නොවෙයි. අපට ලැබිල තියෙන වරම දකුණු අප්‍රිකාවේ සත්‍යය සහ සංහිඳියා සහ ව්‍යවස්ථා සම්පාදක ක්‍රියාදාමයේ අත්දැකීම් බදා ගැනීමට පමණයි," යනුවෙන් පැවසීය.
එසේ නම් මේ ක්‍රියාදාමය මෙතරම් රහසිගත මන්දැයි යන්න සංදේශය රොනී මමයෙපාට යොමු කළ තවත් ප්‍රශනයක්.
"අපට ආරාධනා කරල තියෙන්නේ ඇවිල්ල දේශපාලන පක්ෂ හමු වෙන්න කියල විතරයි. වෙන කිසිම දෙයක් ගැන කතා කිරීම ගැන කිසිම එකඟත්වයක් නැහැ," යන්නයි එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ.
එම එකඟත්වයේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධායේ දූත මණ්ඩල තවදුරටත් දකුණු අප්‍රිකාවේ සංචාරය කරනු ඇති බවත්, සිරිල් රමපෝසා යලිත් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
දකුණු අප්‍රිකාවේ මැදිහත්වීමන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයට දැඩි විරෝධය පළ කරන අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ, එවැනි ක්‍රියාදාමයක් දියත් වන්නේ නම් තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීම පිළිබඳව යලි සලකා බලන්නට සිදු වනු ඇති බවට යෝජනාවක් සම්මත කොට ගෙන තිබේ.








