අලුත්ගම: මහජන විනිශ්චය සභාවක්

ඡායාරූප මූලාශ්‍රය, srilankamirror.com
අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හට ගත් ගැටුම් පිළිබඳව විශේෂ මහජන විනිශ්චය සභාවක් පත් කිරීමට අදහස් කරන බව සමගි බලවේගය පවසයි.
එම ගැටුම පිළිබඳව පමණක් නොව රටේ ක්‍රියාත්මක වන සියලු අන්තවාදී සංවිධාන පිළිබඳව සොයා බැලීම එහි අරමුණ බවයි සමගි බලවේගයේ ප්‍රකාශක හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර කියා සිටින්නේ.
ඔහු ඒ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
'සැබෑ බෞද්ධයා'
‘අපි දන්නවා මේ රටේ අන්තවාදී සංවිධාන බෞද්ධාගමේ නාමයෙන් පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. සැබෑ සිංහලයා, සැබෑ බෞද්ධයා ජාතිවාදී නැහැ.’ හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
අලුත්ගම සහ බේරුවල ප්‍රහාරයන් සිදු වී සති තුනක් ගත වී තිබුනත් ගැටුම් මෙහෙයවූ අය සහ එයට අනුබල දුන් අය සම්බන්ධයෙන් කටයුතු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට, එම මාධ්‍ය හමුවට සහභාගී වූ මංගල සමරවීර මන්ත්‍රීවරයා චෝදනා කළේය.
‘මැදපෙරදිග රටවලින් රජයට ආ බලපෑම් ඉදිරියේ බොදු බල සේනාවේ චීවරධාරීන් කිහිප දෙනෙක් සී අයි ඩී ආයතනයට ප්‍රශ්න කිරීමට කියල මේ ආණ්ඩුව තවත් බයිස්කෝප් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළා. සිනහ මුසු මුහුණින් ආපසු පැමිණි බොදු බල සේනාවේ නායකයන් දිගින් දිගටම ධර්මය වෙනුවට වෛරය වපුරමින් සිටින බව අපට පැහැදිලියි.’ මංගල සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේය.




