‘සමාජ මාධ්‍ය වාරණය වැරදියි’

ඡායාරූප මූලාශ්‍රය, Reuters AFP
සමාජ මාධ්‍ය ජාල (social media) පාලනය කිරීමට යාමේ ආණ්ඩුවේ පිඹුරු පත් පිටුපස පවතින්නේ මහජනතාවට එම මාධ්‍ය හරහා අදහස් ලබා ගැනීම සඳහා ඇති අයිතියට වැට බැඳීමක් යයි ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීහු පෙන්වා දෙති.
එම සංවිධානයේ කැඳවුම්කරු ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක බීබීසී සංදේශය කළ විමසීමක දී කියා සිටියේ, බොහෝ සන්නිවේදන මාධ්‍ය මගින් වාර්තා නො කරන තොරතුරු මහජනතාවට දැන ගැනීමට ඇති මාර්ගය සමාජ මාධ්‍ය ජාලය වන බවයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිමය පාලනය පිළිබඳ ස්ථාවර කමිටුවේ සභාපති සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිවේදීන්ගේ සංවිධානයේ කැඳවුම්කරු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක එම ප්‍රකාශය කළේ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමාජ මාධ්‍ය පාලනය කිරීමේ උවමනාව සම්බන්ධයෙන් කර තිබුණ ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරමින්.

ආරක්ෂක ලේකම්වරයා කියා තිබුණේ වර්ගවාදී ආගම්වාදී අදහස් ප්‍රචාරය කරන සමාජ අන්තර්ජාල වෙබ් අඩවිවලට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.
රාජ්‍ය බුද්ධි අංශ
මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ, පසුගිය දා අලුත්ගම සහ බේරුවල සිදු වූ ගැටුම් පිළිබඳ ව සමාජ මාධ්‍ය මගින් වාර්තා කෙරුණ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කරනු ලැබ ඇති බවයි.
ඒ අනුව එවැනි ප්‍රකාශන පළ කරන සමාජ වෙබ් අඩවි හඳුනා ගැනීමේ තාක්ෂණ ක්‍රමවේදයක් සම්පාදනය කිරීමට පියවර ගන්නා මෙන් ආරක්‍ෂක ලේකම්වරයා අදාළ තාක්‍ෂණ ආයතනවලට උපදෙස් දී ඇති බවත් එම වාර්තා මගින් පැවසෙයි.
එම නිර්දේශ සම්බන්ධයෙන් ප්‍රතිචාරය විමසූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක කියා සිටියේ ජාතික මට්ටමේ වැදගත් ඇතැම් තොරතුරු ප්‍රධාන දහරාවේ මාධ්‍ය මගින් වාර්තා නොකෙරෙන තත්වය හමුවේ ඒවා සමාජගත කෙරුණේ සමාජ මාධ්‍ය හරහා වන බවයි.
එවැනි වාතාවරණයක් යටතේ සමාජ මාධ්‍ය පාලනය කිරීමට යන්නේ වෛරී ප්‍රකාශන පාලනයට යයි බලධාරීන් ප්‍රකාශ කළත් වෛරී ප්‍රකාශන යනු මොනවාද යන්න තීන්දු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නගින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක පවසයි.








