ජනපති මගේ ගමන අගය කළා - විජිත හිමියෝ

බොදු බල සේනා සංවිධානයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව 'නීතිය ක්‍රියාවට නඟනවා'
ඡායාරූප ශීර්ෂ වැකිය, බොදු බල සේනා සංවිධානයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව 'නීතිය ක්‍රියාවට නඟනවා'
    • Author, සරෝජ් පතිරණ
    • Role, බීබීසී සිංහල සේවය

ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම් වස් තමන් ගෙන යන වැඩපිළිවෙල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අගය කිරීමට ලක් වූ බව ජාතික බල සේනා සංවිධානයේ වටරැක විජිත හිමියෝ පවසති.

සිය වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරන මෙන් තමන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා, තමන්ට ආරක්ෂාව සලසා දෙන බවට පොරොන්දු වූ බවත් එහිමියෝ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියහ.

තර්ජන නොතකා මහියංගන ප්‍රාදේශීය සභා රැස්වීම්වලට සහභාගි වන ලෙසද ජනාධිපතිවරයා විජිත හිමියන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. වටරැක විජිත හිමියන් පසුගිය සති අන්තයේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේයි, ජනාධිපතිවරයා එම ප්‍රතිඥාව දී තිබෙන්නේ.

"ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා," යනුවෙන්ද එහිමියෝ පැවසූහ.

'මානව වර්ගයාට එරෙහිව'

ජනාධිපති මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ ප්‍රකාරම එය ඉටු කළ බවත්, දැන් තමන්ට නිසි ආරක්ෂාවක් ලබා දී තිබෙන බවත් එහිමියෝ කියා සිටියහ.

වටරැක විජිත හිමියන් සොයමින් බොදු බල සේනා සංවිධානය පසුගිය බදාදා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශයට කඩා වැදුනේ විජිත හිමියන් සහ ජනාධිපතිවරයාගේ එම හමුවෙන් අනතුරුවයි.

එම සිදුවීමෙන් අනතුරුව යලිත් වරක් දුරකථනයෙන් තමන් අමතා තත්වය විම ජනාධිපතිවරයා, බොදු බල සේනාවට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බවට දැනුම් දුන් බවත් විජිත හිමියෝ පවසති.

'ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා'
ඡායාරූප ශීර්ෂ වැකිය, 'ඒවා මින් ඉදිරියට කරන්න ඉඩ තියන්නේ නෑ කියල එතුමා මට පොරොන්දු වුනා'

ඊට පෙරාතුව ජාතික බල සේනා සංවිධානය හඳුන්වා දීමේ කොළඹ නිපොන් හෝටලයේ පැවති මාධ්‍ය හමුවටද බොදු බල සේනා සංවිධානය කඩා වැදුනේය.

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වන එහිමියන් පවසන්නේ, බොදු බල සේනාව තමන්ට පමණක් නොව සමස්ත මානව වර්ගයාටම එරෙහි ව්‍යාපාරයක යෙදෙමින් 'අපායට ගමනක' යෙදී සිටින බවයි.

'මරණාධාර සමිතියක්'

සිංහල බෞද්ධයා ආරක්ෂා කිරීම සඳහා බව පවසමින් එම සංවිධානය සිංහල බෞද්ධයා ප්‍රපාතයකට ඇද දමා තිබෙන බවද එහිමියෝ බීබීසී සංදේශයට කියා සිටියහ.

'මොහමඩ් විජිත' යනුවෙන් අපහාසාත්මක ලෙසින් විජිත හිමියන් හඳුන්වා දුන් බොදු බල සේනා සංවිධානයේ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේ, විජිත හිමියන් දැනටමත් ශාසනයෙන් නෙරපා දමා ඇති බවද පවසති.

කෙසේ නමුත් තමා ශාසනයෙන් නෙරපූ බව පවසන සංවිධානය 'මරණාධාර සමිතියක්' බවයි, වටරැක විජිත හිමියන් සංදේශයට කියා සිටියේ.

කලෙකට පෙර ගංගොඩවිල සෝම හිමියන් තමන්ට එරෙහිව එල්ල කළ චෝදනා පදනම් විරහිත බවද එහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නායකයන් හෝ විදේශීය සංවිධානවලින් සිය සංවිධානයට කිසිදු මූල්‍ය අනුග්‍රහයක් නොලැබෙන බවත් වටරැක විජිත හිමියෝ අවධාරණය කරති.