ශෂිකලා නායකත්වයෙන් ඉවත් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Nadeeshan Meedin cricturf.com

ශෂිකලා සිරිවර්ධන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

නායකත්වයෙන් ඉවත් වෙන බව ඇය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වාට දැනුම් දුන් බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ශෂිකලා සිරිවර්ධන කියා සිටියේ එය සිය පෞද්ගලික තීරණයක් වන බවයි.

“කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩිකාවක හැටියට හිඳිමින් දක්‍ෂතා ප්‍රගුණ කර ගනිමින් ක්‍රීඩාවට සහ රටට මෙහෙයක් සිදුකිරීම” සිය අභිලාෂය වන බවයි, ශෂිකලා සංදේශයට ප්‍රකාශ කළේ.

ඇය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තව දුරටත් ක්‍රීඩා කරන බවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයේ දැක්වෙයි.

ලෝක කණ්ඩායමට

කාන්තා ක්‍රිකට් තරඟයක්
ඡායාරූප ශීර්ෂ වැකිය, කාන්තා ක්‍රිකට් තරඟයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව යන ශෂිකලා සිරිවර්ධන ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා නම් කරනු ලැබ සිටින ක්‍රීඩිකාවන් අතර සිටින්නීය.

ලබන මැයි 19 වෙනි දින ‘මාර්ලිබෝන්’ කාන්තා ක්‍රිකට් සමාජයට(MCC ) එරෙහිව ලන්ඩනයේ ‘ලෝඩ්ස්’ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරඟය සඳහා ඇය ලෝක කාන්තා ක්‍රිකට් පිළ නියෝජනය කරමින් තරඟ වදිනු ඇත.

MCC කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කණ්ඩායමකට එරෙහිව මින් පෙර ‘ලෝඩ්ස්’ පිටියේ ක්‍රීඩා කර නැති අතර, ලෝක කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පිටියට අවතීර්ණ වෙන පළමු අවස්ථාවද මෙයයි.

MCC ක්‍රිකට් ක්‍රීඩා සමාජය ශෂිකලා සිරිවර්ධන ලෝක කණ්ඩායම සඳහා තෝරා ගනු ලැබ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රහයෙනි.