අප්‍රියෙල් කැරැල්ලට වසර හතළිස් තුනයි

1971 අප්‍රියෙල් කැරැල්ලට මෙම අප්‍රියෙල් පස් වෙනිදාට අවුරුදු හතළිස් තුනක් සම්පූර්ණ වෙයි.
අවි ගත් කැරැල්ල දියත් කෙරුණේ 1971 අප්‍රියෙල් පස් වෙනි දින රාත්‍රියේයි.
නිදහසින් පසුව සන්නද්ධ බලය පාවිච්චි කරමින් ශ්‍රී ලංකාවේ රජය පෙරලා දැමීමට ගත් පළමු ප්‍රයත්නය එම අවි ගත් නැගිටීමයි.
රෝහණ විජේවීර විසින් නායකත්වය දෙන ලද ජනතා විමුක්ති පෙරමුණ විසිනුයි කැරැල්ල දියත් කරනු ලැබුණේ.
ක්‍ෂණික ප්‍රහාර න්‍යාය
එවකට ජනතා විමුක්ති පෙරමුණේ සටන් උපක්‍රමය වුණේ, එක් රැයකදී එල්ල කරනු ලබන ක්‍ෂණික ප්‍රහාරයකින් බලයේ සිටින ආණ්ඩුව පෙරලා දමා රාජ්‍ය බලය සියතට ගැනීමයි.

ඡායාරූප මූලාශ්‍රය, JVP
‘අප්‍රියෙල් නැගිටීම නිවැරදි දේශපාලන ක්‍රියාමාර්ගයක් නොවන නමුත් එය පීඩාවට සහ මර්දනයට එරෙහි පියවරක්’ වූ බවයි එම කැරැල්ල සමයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය නායකයකු වූ වසන්ත දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.
“එහෙත් තමන් තුළ එදා දේශපාලන දැක්මෙහි පැවති ඌනතාවය සහ නිවැරදි තක්සේරුවකින් තොරව අවි ගනු ලැබීම ඉන් අනතුරු අවධියේ ශ්‍රී ලාංකික සමාජය තුළ දක්ෂිනාංශය ශක්තිමත් වීමට හේතු වූ ”බවයි වසන්ත දිසානායක පවසන්නේ.
දක්ෂිනාංශය බලවත් කිරීම
තරුණ ජීවිත රැසක් විනාශ වීමෙන් 1971 කැරැල්ල පරාජයෙන් කෙළවර වූ අතර තවත් විසි දහසක් පමණ තරුණයන් අත්අඩංගුවට ගනු ලැබ සිර ගත කරනු ලැබිණ.
ග්‍රාමීය මැද පන්තියේ තරුණයන් වැඩි වශයෙන් සහභාගී වූ අප්‍රියෙල් කැරැල්ල ඉඩම් ප්‍රතිසංස්කරණය ඇතුළු සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට හේතු වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.








