ජවිපෙ නව නායකයා අනුර කුමාර

නව නායක අනුර කුමාර දිසානායක සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ

ඡායාරූප මූලාශ්‍රය, JVP

ඡායාරූප ශීර්ෂ වැකිය, නව නායක අනුර කුමාර දිසානායක සහ හිටපු නායක සෝමවංශ අමරසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පක්ෂයේ නව නායකයා ලෙස ඒකමතිකව තෝරා පත් කරගන්නා ලද බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ හත් වැනි ජාතික මහ සමුළුවේදී යි ඔහු පත් කොට ගෙන ඇත්තේ.

නව මධ්‍යම කාරක සභා සාමාජිකත්වය තිස් දෙනකු දක්වා පුළුල් කොට ඇති බවද ජවිපෙ පවසයි.

මෙතෙක් ජවිපෙ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය දැරුවේ විසි පස් දෙනෙකි.

පක්ෂයේ ප්‍රධාන ලේකම්, ප්‍රචාරක ලේකම්, ජාත්‍යන්තර ලේකම්, මුදල් ලේකම් සහ ජාතික සංවිධායක යන තනතුරු සඳහා තෝරා පත් කර ගැනීමට නව මධ්‍යම කාරක සභාව කටයුතු කරමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ.