ශ්‍රී ලංකාව හිර කරන්නේ අපි ම්ලේච්ඡයෝද?

ඡායාරූප මූලාශ්‍රය, AP
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
මානව හිමිකම් මණ්ඩලයට යෝජනා පිට යෝජනා ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව 'හිර කරන්නේ' ශ්‍රී ලංකාවේ ම්ලේච්ඡයන් වෙසෙන නිසාදැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්න කරයි.
කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රඹුක්වැල්ල එසේ ප්‍රශ්න කළේ, සඳුදා සවස් යාමයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජිකයන් අතර බෙදා හරින ලද යෝජනා කෙටුම්පත පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.
ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන යෝජනා කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඇමතිවරයා කියා සිටියේය.
එල්එල්ආර්සී උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව නිකුත් වී තවමත් ගත වී තිබෙන්නේ වසර කිහිපයක් පමණක් බව පවසන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එවැනි වාතාවරණයක් යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මෙන් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටීම 'සම්පූර්ණයෙන්ම අසාධාරණ' බව බීබීසී සංදේශයට පැවසීය.
තවත් වසරක්
මේ වසරේ සැප්තැම්බරයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ විසි හත් වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ වාතාවරණය සම්බන්ධයෙන් වාචික වාර්තාවක් ලබා දෙන මෙන් මහ කොමසාරිස්වරියට යෝජනා කරන කෙටුම්පත, ලබන වසරේ මාර්තු මාසයේ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවක් එහි සඳහන් නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
කෙසේ නමුත් අදාල කෙටුම්පත පවා "ඉතා ද්වේශසහගත සහ එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තීන් උල්ලංඝනය" කරන්නක් බවයි, අමාත්‍ය රඹුක්වැල්ල සංදේශයට කියා සිටියේ.
දහ තුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර උතුරු පළාත් සභාවට හිමි බලතල සහ පහසුකම් ලබා දෙන මෙන්ද යෝජනා කෙටුම්පත ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
අදාළ පරීක්ෂණ සඳහා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අවසර දීම මෙන්ම මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස මහ කොමසාරිස්වරියට හැකි සෑම සහයෝගයක්ම දිය යුතු බවත් එහි සඳහන්.
මේ වසරේත් ඉදිරිපත්ව තිබෙන්නේ ගිය වසරේ යෝජනාව හා සමාන යෝජනාවක් බව පෙන්වා දෙන ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, සැබවින්ම සිදු වී තිබෙන්නේ මානව හිමිකම් චෝදනා විභාග කිරීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසරක කාලයක් ලබා දීම බවද බීබීසී සංදේශයට කියා සිටියේය.
ශ්‍රී ලංකාව සම්බන්ධ අවසාන යෝජනාව ඉදිරි සති දෙක ඇතුලත ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ඔහු පැවසීය.








