'අපේ ප්‍රශ්න වලට පිටස්තරයන් එපා' ගෝඨාභය

ශ්‍රී ලංකාවේ ගැටළු විසඳා ගැනීමේ උපදෙස් දීමට ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් වීම ආරක්ෂක ලේකම් වරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
විදේශිකයන් ‘පසු පස යාමේ’ ප්‍රයෝජනයක් නැතැයි කී ගෝඨාභය රාජපක්ෂ එමගින් ප්‍රශ්න විසඳෙනු වෙනුවට රටේ ප්‍රශ්න තවදුරටත් සංකීර්ණ වන බවයි කියා සිටියේ.
ආරක්ෂක ලේකම්වරයා මඩකලපුවේ ආගමික, දේශපාලනික හා බහුජන නායකයන් මෙන්ම ප්‍රාදේශීය හමුදා ප්‍රධානීන් ද කැඳවා විදේශීය බලවේග වලට විරෝධය පළ කළේ ජනාධිපති ලේකම්වරයා මානව හිමිකම් කොමසාරිස් නවී පිල්ලේ ජිනීවා නුවර දී මුණ ගැසීමෙන් දින දෙකකට පසු.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉකුත් අගෝස්තුවේ ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයෙන්අනතුරුව සිදු වූ වර්ධනයන් පිළිබඳ ව ලලිත් වීරතුංග ලේකම්වරයා විසින් ඇය දැනුවත් කරන ලද බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය බ්‍රහස්පතින්දා නිවේදනය කළේය.

ඡායාරූප මූලාශ්‍රය, SL Mission Geneva
ඉන් අනතුරුව වෙනත් රටවල එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා පවත්වන ලද සමුළුවක දී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් වරයා, උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳ ජනාධිපති කොමිසමේ (LLRC) ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව ලබා දුන් සහායට ස්තුති කළ බවත් නිවේදනයේ සඳහන්.
ඉකුත් මාර්තුවේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාවේ ප්‍රධාන ඉල්ලීමක් වන්නේ LLRC වාර්තාවේ සාධනීය නිර්දේශ ක්‍රියාවේ යෙදවීම.
උතුරේ සන්නද්ධ සේනා බලය අඩු කිරීමත්, අතුරු සන්නද්ධ කල්ලි නිරායුධ කිරීමත් ජනාධිපති කොමිසමේ නිර්දේශ අතර වෙයි.

මඩකලපුවේ රැස්වීමේ දී ආරක්ෂක ලේකම් වරයා කියා සිටි පරිදි සන්නද්ධ අතුරු කල්ලි නිරායුධ කිරීමේ ‘දුෂ්කර තීන්දුව’ ගන්නා ලද්දේ යුද්ධය නිමා වූ සැණින්.

ඡායාරූප මූලාශ්‍රය, battidiocese.org
යුද සමයේ එල්ටීටීඊ විරෝධී සංවිධාන වලට රජයෙන් ආයුධ ලබා දී තිබුණු බව ද ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේ ය.
හදිසි නීතිය ඇතුළු රටේ නිදහසට තිබුණ සියලු බාධක ඉවත් කොට ඇති අතර, උතුරේ යුද හමුදාවත් ආරක්ෂාවට අවශ්‍ය ප්‍රමාණයට කඳවුරු වලට සීමා කොට තිබෙන බවයි ඔහු පැවසුවේ.
දේශපාලන සිරකරුවන්
ගැටළු විසඳා ගැනීම රට තුළ ම කර ගත හැකි බව ශ්‍රී ලංකාවේ රජය විදහා දක්වා ඇති බවයි, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ.
“අපට ඕන තරම් නායකයන් මේ රටේ ඉන්නවා. අපි දන්නවා මේ රට පාලනය කරන හැටි. අපේ ප්‍රශ්න විසඳන හැටි අපි දන්නවා,” යි රට පාලනය කරන අයුරු තමන්ට උගන්වන්නට ආ එක්සත් ජනපද නිලධාරියකු ට කියා සිටි බව ද ආරක්ෂක ලේකම් වරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, මඩකලපුවේ රදගුරු පොන්නයියා ජෝසප් බීබීසී ‘තමිලෝසයි’ වැඩ සටහනට කියා සිටියේ, දේශපාලන සිරකරුවන් මුදා හරින ලෙස තමන් හමුවට පැමිණි ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවයි.








