අත් අඩංගුවේ සිටින සියලු ධීවරයන් 'නිදහස් කරනවා'

තමිල්නාඩුවේ සහ ශ්‍රී ලංකාවේ අත් අඩංගුවේ සිටින සියලුම ධීවරයන් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට දෙපාර්ශය අතර පැවති සාකච්ඡාවලදී එකඟ වූ බව ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.
ඉන්දියාවේ දිල්ලි අගනුවරදී ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින් ඒ බව කියා සිටි අමාත්‍යවරයා, බ්‍රහස්පතින්දා පටන් එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට දෙපාර්ශවය ගිවිස ගත් බවද කියා සිටියේය.
ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අත් අඩංගුවේ පසු වන ශ්‍රී ලාංකික ධීවරයන්ද නිදහස් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් විට ඒ පිළිබඳව ප්‍රාදේශීය බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවට ඉන්දීය කෘෂිකර්ම අමාත්‍ය ශරඩ් පවර් ප්‍රතිඥා දුන් බවයි, ඔහු පවසන්නේ.
බෙංගාල බොක්කේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලුම වැඩසටහන් වෙනුවෙන් අවශ්‍ය වියදම් දරන බවට 'ඉතා මිත්‍රශීලීව හා සුහදව පැවැත්වුණු' සාකච්ඡාවේදී ඉන්දියාව ප්‍රතිඥා දී තිබේ.
උතුරේ විරෝධතා

ඡායාරූප මූලාශ්‍රය, fisheries.gov.lk
විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශීඩ් සහ කෘෂිකර්ම අමාත්‍ය පවර් සමඟ අද වෙන වෙනම පැවැත් වූ සාකච්ඡාවලදී මෙම එකඟතාවයන්ට එළඹුණු බවයි, අමාත්‍ය රාජිත සේනාරත්න සංදේශයට කියා සිටියේ.
මින් ඉදිරියට ධීවර ගැටළු උත්සන්න නොවී විසඳා ගැනීම පිණිස විශේෂ කමිටුවක් පිහිටුවීමටද එකඟත්වයකට එළැඹි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර ධීවර ඇමතිවරයා දිල්ලි නුවර පවත්වන සාකච්ඡාවලට උතුරු පළාතේ ධීවර නියෝජනය නොලැබීම සම්බන්ධයෙන් උතුරේ විරෝධතා ව්‍යාපාරයක් දියත් විය.
අත්දැකීම් සහිත ධීවර නායකයන් නොතකා හරිමින් ඇමතිවරයාගේ මනාපය පරිදි රැගෙන ගිය ධීවර නියෝජිතයන් සාකච්ඡා මගින් සැබෑ ප්‍රතිපලයක් ලැබේද යන්න සැක සහිත බව ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ උතුරු, නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේය.








