හමුදාව යාපනයේ නිවාස 'ඩෝසර් කරනවා'

Kattuvan houses being destroyed
ඡායාරූප ශීර්ෂ වැකිය, නීත්‍යානුකූලව රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බව හමුදාව පවසයි

යාපනය කට්ටුවාන් උතුර ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් හා ගේ දොර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ඩෝසර් කරන ලද බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් සරවනභවන් බීබීසී සංදේශයට ඒ බව කියා සිටියේ නිවාස ඩෝසර් කරන ස්ථානයට සමීපයේම සිටිමින්.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව මාධ්‍යවේදීන් පිරිසක්ද සමඟ තමන් එම ස්ථානයට පැමිණි බව පැවසූ මන්ත්‍රීවරයා, නිවාස ඩෝසර් කිරීම වීඩියෝ සහ ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ගේ කැමරා ලබා ගත් යුද හමුදාව එම දර්ශන මකා දැමූ බවද සංදේශයට කියා සිටියේය.

රජයට පවරා ගන්නා ලද ඉඩම් වල පිහිටි ගොඩනැගිලි ඉවත් කරන බවයි, මේ පිළිබඳව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

"කලින් ඒවාට නීත්‍යානුකූල හිමිකරුවෝ සිටින්නට පුළුවන්. නමුත් දැන් ඒවා රජයට පවරාගෙන තිබෙන ඉඩම්," බවයි බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ.

කෙසේ නමුත් මාධ්‍යවේදීන්ට හිරිහැර කළ බවට මන්ත්‍රීවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කළ හමුදා ප්‍රකාශකයා, එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වලකින මෙන් ඔවුන්ගෙන් කාරුණික ඉල්ලීමක් කළ බව කියා සිටියේය.