මීගොඩ ක්‍රිස්තියානි දේවස්ථානයකට ප්‍රහාරයක්

තමනට පහර දී බඩු බාහිරාදිය ට හානි පැමිණ වූ බව බැතිමත්හු පවසති
ඡායාරූප ශීර්ෂ වැකිය, තමනට පහර දී බඩු බාහිරාදිය ට හානි පැමිණ වූ බව බැතිමත්හු පවසති

පෙන්තකොස්ත සභාවට අයත් ක්‍රිස්තියානි දේවස්ථානයක දේව මෙහෙය පැවැත්වෙද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ඇතුළු පිරිසක් පහර දුන් බවට ලැබුණු චෝදනාවක් විභාග කරමින් සිටින බව පොලිසිය පවසයි.

මීගොඩ කජුගහයට දෙනියේ ‘ජීවන දිය’ සභාවට අද පහර දුන් බවට චෝදනා ලබන සැක කරුවන් කිසිවකු මේ තාක් අත් අඩංගුවට ගෙන නැත.

කෙසේ වෙතත් මේ පිළිබඳ විමර්ශන තොරතුරු හෙට දිනයේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරන බවයි පාදුක්ක මූලස්ථාන පොලිස් පරීක්ෂක බිමල් පෙරේරා ප්‍රකාශ කරන්නේ.

ඉරිදා දේව මෙහෙය ආරම්භ වී පැයකින් පමණ දේවස්ථානයට පැමිණි පිරිස් තමනට පහර දී බඩු බාහිරාදිය ට ද හානි පැමිණ වූ බව බැතිමත්හු පවසති.

ඔවුන් පවසන පරිදි තුවාල ලද ඒ කේ ප්‍රියන්ත දේවගැතිවරයා සහ ඔහුගේ මෑණියන් මේ වන විට සිටින්නේ රෝහල් ගත වයි .

පහර දුන් කලහකාරීන් වාහන වලින් පැමිණි බවත් ඔවුනට නායකත්වය සැපයු බවට සැක කැරෙන භික්ෂූන් වහන්සේ නැවත හඳුනා ගත හැකි බවත් ජීවන දිය සභාවේ දායකයෝ පවසති.