නවී පිල්ලේ ගිය පසු 'උතුරට යළි භට පිරිස්'

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වරිය උතුරේ සංචාරය කරද්දී දර්ශනයෙන් ඉවත් කරනු ලැබූ යුද හමුදා භට පිරිස් නැවත වීදියට පැමිණ සිටිතැයි පළාත් වාසීහු පවසති.

මුර කපොලු, බංකර් හා පරීක්ෂණ මුරපොල මෙසේ යලිත් ස්ථාපිත කොට තිබෙන බවයි උතුරේ වැසියන් බීබීසී සංදේශයට කියා සිටියේ.

ආරක්ෂාව 'තර කළා'

කෙසේ වෙතත්, නවී පිල්ලේ ගේ උතුරේ සංචාරය අවදියේ භට පිරිස් ඉවත් කරන ලදැයි පළ වන තොරතුරු ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ ඇය පැමිණි අවස්ථාවේ ආරක්ෂක විධි විධාන වල කිසිදු අඩුවක් නොකරන ලද බවයි.

රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත වරියක් රටට පැමිණ සිටින අවස්ථාවේ පිළිවෙත ‘ආරක්ෂාව වඩා තර කිරීමක් මිස තිබෙන ආරක්ෂාව අඩු කිරීමක් නොවන,’ බවයි සංදේශය කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේ.

නවී පිල්ලේ උතුරේ සංචාරය කළ දෙදින තුලදී ප්‍රදේශයේ හමුදා භට පිරිස් වෙනදා තරමට නොසිටි බවයි ප්‍රදේශ වාසීන් මෙන්ම ජනමාධ්‍ය වේදීන්ද දැක තිබුනේ.

නම සඳහන් කිරීමට අකැමැත්ත දැක්වූ එක දෙමළ වැසියකු කී පරිදි තම ගම්මානය අවට රඳවා සිට ඉවත් කරන ලද සෙබල පිරිස් ද ආපසු පැමිණ සිටී.

සිය සත්දින සංචාරය නිමාවේ කොළඹදී ජනමාධ්‍ය ඇමතූ මහ කොමසාරිස්වරිය කියා සිටියේ උතුරේ රඳවා සිටින භට පිරිස ජන ජීවිතයට අවශ්‍ය පමණට වඩා ඇතුළුවී සිටින බවයි.

‘ඒ සා දැවැන්ත හමුදාවක සැලකිය යුතු ප්‍රමාණයක් හමුදා කටයුතු වලින් ඉවත් කිරීම එක් රැයින් සිදු කළ නොහැකි බවට’ ආරක්ෂක ලේකම්වරයා ගෙන එන අදහස තමනට වැටහෙන බව කී නවී පිල්ලේ යුද පීඩිත උතුරු නැගෙනහිර හමුදා කරණයෙන් ඉවත් කිරීමට ගන්නා වෑයම වේගවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියාය.