මාධ්‍යවේදිනියගේ නිවසේ මංකොල්ලයට 'හමුදාව සම්බන්ධ නෑ'

සෙනසුරාදා උදෑසන මාධ්‍යවේදිනී මන්දනා ස්මයිල් අබේවික්‍රමගේ නිවසේ සිදු වූ මංකොල්ලයට ආරක්ෂක හමුදාව සම්බන්ධ බවට එල්ල වන චෝදනා බලධාරීහු ප්‍රතික්ෂේප කරති.
සන්ඩේ ලීඩර් පුවත් පතේ සම කර්තෘවරියගේ නිවසට අගෝස්තු 24 වැනිදා අලුයම දෙකට පමණ ගිනි අවි සහ පිහි අතැති පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් ඇතුළු වී තිබේ.
එයට හමුදා සෙබළුන් දෙදෙනකු ද සම්බන්ධ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි, හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ.
"හමුදාවෙන් පැන ගිය සෙබලෙකු වශයෙන් නම්කර තිබෙන එක සෙබලෙකුත් නිවාඩු නොපැමිණ හමුදාවෙන් පැනගොස් යලි රපෝර්තු කර ඉන් අනතුරුව හමුදා සේවයෙන් ඉවත් කරන ලද සෙබලෙකුත් මේ සොර කණ්ඩායමේ පස් දෙනා අතර ඉඳල තියෙනවා," බවයි, බ්‍රිගේඩියර්වරයා පවසන්නේ.
'මංකොල්ලය ගැන අධ්‍යයනයක්'
සාමාන්‍ය සෙබල කේපී චාමර කුමාර සහ අසංක උබේසිරි චුදිතයන් හමුදා සේවයෙන් පහ කරනු ලැබූවන් බව පවසන හමුදා ප්‍රකාශකවරයා අත්අඩංගුවේ සිටින කේ රෝහිත ලක්ෂමන් චාමර කුමාරගේ සොහොයුරෙක් බව ද පැවසීය. පොලිස් ප්‍රහාරයෙන් මියගොස් තිබෙන්නේ ද ඔවුන් දෙදෙනාගේ සොහොයුරෙක්.

අල්මාරි කඩා රන් බඩු හා මුදල් එකතු කරන අතරේ ලිපි ගොනු අදිමින් ඒවා පරීක්ෂා කරමින් පැය කිහිපයක් ගත කිරීම සැක සංකා මතු කරන්නක් බව මන්දනා ස්මයිල් බීබීසී සංදේශයට කියා සිටියාය.
ඊට දින දෙක තුනකට පමණ පෙර බළල් මළකුණක් නිවසේ දොර පඩිය මත තබා තිබූ බවත් මැරයන් කඩා වැදීමට පෙර දින තම සැමියාගේ වාහනයේ ටයරයක් කපා දමා තිබූ බවත් මාධ්‍යවේදිනී මන්දනා බීබීසියට කියා සිටියාය.
මංකොල්ල කෑමේ මුවාවෙන් ඇතිවූ සිද්ධිය සම්පූර්ණයෙන්ම සැක සහිත බව පවසන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධාන මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද, එම සැකය දුරු කිරීමේ වගකීම පවතින්නේ ආණ්ඩුව අත බව අවධාරණය කරති.
අනෙක් හැම සිදුවීමකදීම චුදිතයන් අත් අඩංගුවට ගැනීමට අපොහොසත් වූ ආණ්ඩුව මෙම සිදුවීමේ එක් චුදිතයකු මරා දමා අනෙක් සියල්ලන් අත්අඩංගුවට ගෙන තිබෙන බව පෙන්වා දෙන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පූර්ණ පරීක්ෂණයක අවශතාවය අවධාරණය කරයි.
විශේෂයෙන්ම මංකොල්ලයක් සඳහා පැමිණි සොර මුලක් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ලිපි ගොනු අවුස්සමින් එම නිවසේ කළේ කුමක් දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
"ඔබ අහල තියෙනවද කොහේවත් පැය දෙකහමාරක් තිස්සේ මංකොල්ල කන්න ලිපි ගොනු හොයන හොරෙක්?," යනුවෙන් ප්‍රශ්න කරන මන්ත්‍රීවරයා පසුගියදා ගම්පහ දී සිදු වූ එක් කෝටි අසූ ලක්ෂයක සමස්ත මංකොල්ලය විනාඩි දහයක් ඇතුලත නිමා වී තිබූ බව පෙන්වා දුන්නේය.








